G7 රාජ්‍ය නායක සමුළුවෙන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් බදාදා (ජුනි 16) ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ දී රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් මුණගැසෙයි.

රාජ්‍යනායකයන් දෙදෙනාගේ හමුව මිත්‍රශීලී වූවක් නොවනු ඇතැයි බීබීසී මොස්කව් වාර්තාකාරිනී සේරා රේන්ස්ෆර්ඩ් (Sarah Rainsford) පවසයි.

මොස්කව් පාලනය විසින් මෑතක දී එක්සත් ජනපදය සිය “මිතුරු නොවන රාජ්‍ය”(“unfriendly states”) ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබීය.

ඇමෙරිකානු-රුසියානු සබඳතා පවතින්නේ අක්‍රීය මට්ටමකය. දෙරට නියෝජනය කරන තානාපතිවරුන් ඒ ඒ භූමියේ නොමැත. යුක්රේනයෙන් වෙන් කොට ක්‍රිමියාව ඈඳා ගනු ලැබීමේ පටන් මැතිවරණ මැදිහත්වීම් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා දක්වා කරුණු රැසක් මුල්කර ගනිමින් රුසියානු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇමරිකානු සම්බාධක යටතේ පසුවෙති.

ඇමෙරිකාවේ හිටපු නාවික හමුදා භටයන් දෙදෙනකු තවමත් රුසියාවේ බන්ධනාගාරවල සිරකර තබා ඇත. ඔවුන්ගෙන් එක් අයෙක් ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරු කරනු ලැබ 16 අවුරුදු සිර දඬුවමක් ගෙවමින් සිටියි.

මෙය පූතින් සහ බයිඩන් ජනාධිපතිවරුන් ලෙස මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව වෙයි. මෙම හමුව රුසියාවේ ඇතැම් පාර්ශ්වයන් දකින්නේ ඔවුන්ගේ ජයග්‍රහණයක් ලෙසිනි.

මෙය පවතින තත්ත්වයක්

”පූතින්-බයිඩන් හමුව සංකේතාත්මක වැදගත්කමක් දරනවා. එමගින් රුසියාව එක්සත් ජනපදයට සමාන්තර ලීගයකට ඇතුළත්වීමක් සිදුවෙනවා. පුතින් සංකේතයත් වැදගත් නොවනවා නොවෙයි” මොස්කව් නගරයේ ක්‍රියාත්මකවන බුද්ධි මණ්ඩලයක් වන RIAC සංවිධානයේ අධ්‍යක්‍ෂ අන්ද්‍රේයි කෝර්තුනෝෆ් (Andrei Kortunov) පවසයි.

මෙම හමුව සිදුවන්නේ ජනාධිපති බයිඩන්ගේ පළමු නිල විදේශ සංචාරය අතරවාරයේය. ඇමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් රාජධානියේ පැවති G-7 රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමෙන් අනතුරුව ජනාධිපති පුතින් මුණගැසීමට ජිනීවා නගරයට පැමිණෙයි. මෙවැනි හමුවක් සිදුවෙන්නේ ජනාධිපති බයිඩන්ගේ ඉල්ලීමක් අනුවය. එසේම වෙනත් වෙනත් කාර්යයක් අතරමැද සිදුවෙන කෙටි හමුවක් නොව පූර්ණ මට්ටමේ රාජ්‍ය නායක හමුවක් ද වෙයි.

බයිඩන්-පුතින් හමුව සිදුවෙන ජිනීවා නගරයේ 'La Grange' මන්දිරය

ජෝ බයිඩන් ජිනීවා නගරයට සැපත්වන්නේ සඳුදා (ජූනි 14) බ්‍රසල්ස් හි නේටෝ මූලස්ථානයේ පැවැත්වෙන සාකච්ඡා ඇතුළත් අතිශයින් කාර්යබහුල න්‍යාය පත්‍රයකින් පසුවය. අනතුරුව ජෝ බයිඩන් සිය විදේශ සංචාරයේ අවසන් පියවර ලෙස බදාදා ජනාධිපති ව්ලදිමීර් පුතින් සමඟ පැවැත්වෙන ද්විපාර්ශ්වීය හමුව විශේෂ අවධානයට ලක්වන කරුණක් වෙයි.

”ඇමෙරිකානු ජනාධිපතිවරයාට සමාන වීමට පුතින්ට නියත උවමනාවක් තිබෙනවා. එම මට්ටමින් ගරුත්වයක් ලැබීමට ඔහුට අවශ්‍යයි” යන මතය සමඟ දේශපාලන විශ්ලේශිකා ලිලියා ස්වෙත්සෝවා (Lilia Shevtsova )එකඟවෙයි.

”තම ශක්තිය ප්‍රදර්ශනය කිරීමට සහ G-7 කණ්ඩායමේ සාමාජිකයකු වීමට පුතින්ට අවශ්‍යයි”

ඉතිහාසය සහ බලාපොරොත්තු

1985 වසරේ රීගන්-ගොර්බචෝෆ් හමුවීම

බයිඩන්-පුතින් හමුව සඳහා ජිනීවා නගරය තෝරාගැනීම 1985 සීතල යුද සමයේ අතීත වැඩසටහන් සිහිගැන්වීමට හේතුවෙයි. ජනාධිපති රොනල්ඩ් රීගන් සහ සෝවියට් නායක මිහායිල් ගොර්බචෝෆ්ගේ පළමු හමුව සිදුවූයේ ද ජිනීවා නගරයේදීය. එහෙත් මේ සතියේ හමුව ප්‍රියදායී පෞද්ගලික සම්බන්ධයකට හෝ දේශපාලන සිසිලකට මගපාදනු ඇත යන්න සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් නොමැත.

බයිඩන්-පුතින් හමුවේ ඉලක්කය රුසියාවත් සමඟ ”ස්ථාවර” සහ ”පුරෝකථනය කළ හැකි” (“stable” and “predictable”) අනාගත සම්බන්ධතාවක් යයි ධවල මදිරය ජූනි 14 දා ප්‍රකාශ කළේය. එහෙත් පුතින්ගේ සොල්දාදුවන් 2014 වසරේ ක්‍රිමියාවට ඇතුල්වී එම අර්ධද්වීපය රුසියාවට ඈඳාගනු ලැබීමේ පටන් මහජනයා පසුවන්නේ විපරමිනි.

රුසියාව සහ එක්සත් ජනපදය අතර සබඳතා පිරිහීම ආරම්භ වූයේ එතැනිනි.

මේ සතියේ රුසියාවේ රාජ්‍ය රූපවාහිනියට අදහස් දැක්වූ ජනාධිපති පුතින් ”එක්සත් ජනපදයට සහ රුසියාවට එකමුතුව ක්‍රියාකළ හැකි කාරණා ඇති” බව සඳහන් කළේය. න්‍යෂ්ටික අවි පාලනයට අදාළ මාතෘකාවෙන් පටන්ගෙන දේශගුණ විපර්යාසයන් සම්බන්ධයෙන් ද, ලිබියාව සහ සිරියාව ඇතුළු කලාපීය අර්බුද ගැනත් සාකච්ඡා කළ හැකි බව පුතින් එම අවස්ථාවේ කියා සිටියේය.

”එවැනි කාරණා සම්බන්ධයෙන් අපට යාන්ත්‍රණයක් පිළියෙළ කර ගැනීමට හැකිනම් සමුළුව අසාර්ථක නැතැයි කියා කියන්නට අපට හැකියාවක් ලැබෙනවා කියල මම හිතනවා” පුතින් සඳහන් කළේය.

දෙපාර්ශ්වය අතර පවතින ”රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සංග්‍රාමය” සම්බන්ධයෙන් එකඟතාවක් මෙහිදී ඇතිවිය හැකි යැයි රුසියාවේ ඇතැම් කණ්ඩායම් අදහස් කරති. එක්සත් ජනපදය මෑත වසරවලදී රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් දුසිම් ගණනක් නෙරපා හරිමින් ඔවුන්ගේ කාර්යාල සංකීර්ණ දෙකක් වසා දැමීමට පියවර ගෙන ඇත. මේ අතර රුසියාවේ ඇති ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික කාර්යාලවලට රුසියාවේ පුරවැසියන් රැකියා සඳහා ගැනීම තහනම් කිරීමට නියමිතය. එහි තේරුම වීසා ඇතුළු සේවාවන් ගණනාවක ඉහළ මට්ටමේ කප්පාදුවකි.

මෙහිදී අවම පියවරක් ලෙස මොස්කව් පාලනය සිය තානාපතිවරයාට නැවත වොෂිංටන් වෙත යාමට ඉඩ දෙනු ඇත.

එක්සත් ජනපදය විසින් ද රුසියාවේ සිරභාරයේ පසුවෙන සිය වැසියන්ගේ ඉරණම ගැන විමසනු ඇත. ඔත්තු බැලීම සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබ සිරගත කරනු ලැබ සිටින පෝල් වෙලන් (Paul Whelan) ඊට ඇතුළත් වෙයි. ඔහු තමාට එරෙහි චෝදනා දිගින් දිගටම බැහැර කරයි.

සිරකරුවන් හුවමාරු කරගැනීමේ අදහසට මෑතදී රුසියානු පාර්ශ්වයෙන් තල්ලුවක් ලැබුණි. එහෙත් ඉදිරිපත්කරනු ලබන කොන්දේසි ඉටුකිරීම අතින් එක්සත් ජනපදය මෙතෙක් අසීරු තැනකට පත්කරනු ලැබ ඇත. පුතින්ගේ ඒකපාර්ශ්වීය ත්‍යාගශීලීභාවයේ ඉඟිය ඵලදරන හැඩක් නැත.

ජනාධිපති ඔබාමා සහ රුසියාවේ නායක පුතින් අතර හමුවක්

එදිරිවාදී බටහිර

බටහිර රාජ්‍යයන් රුසියාවේ එදිරිවාදීන් ලෙස විග්‍රහ කිරීමේ මාවතින් ජනාධිපති පුතින් ඉවත්ව ගිය ආකාරයක් දැන් පෙන්නුම් කෙරෙයි.

මේ මාසය මුලදී රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවැති ආර්ථික සමුළුවේදී පුතින් නැවත කියා සිටියේ රුසියාවේ සංවර්ධනය “පාලනය කිරීමට”(“contain”) එක්සත් ජනපදයට අවශ්‍ය කරන බවය.

මෙයින් දවස් කීපයකට පෙර අදහස් දැක්වූ රුසියාවේ නායකයා, සියරටට ”දෂ්ඨ කිරීමට” අවශ්‍ය කරන ඕනෑම විදේශීය ආක්‍රමණිකයකු ”දණ ගස්වන” බවට තර්ජනය කර තිබුණි.

“පැහැදිලිවම ඔහුගේ විශ්වාසය වන්නේ එක්සත් ජනපදය රුසියාවට සුබ පතන්නේ නැති විරුද්ධවාදියෙකු වන බවයි. ඔහුගේ එම දැක්මෙහි වෙනසක් වනු ඇතැයි මම හිතන්නේ නැහැ” අන්ද්‍රේයි කෝර්තුනෝෆ් පවසයි.

එසේවුවද, රුසියාව පවතින ගැටුම්කාරී තත්ත්වය අවමකර ගැනීමට අවධානය යොමුකිරීමේ ඉඩකඩ ඇති බවට ඔහු තර්ක කරයි.

සන්සුන්වීමක්

”තර්කාන්විත දේශපාලඥයකු හැටියට පුතින් ඉහත කී එදිරිවාදී සම්බන්ධතා නිසා ඇතිවෙන අලාභය සහ අනතුර අවමකර ගැනීමට මනාපවනු ඇතැයි ද විශ්ලේෂක අන්ද්‍රේයි කෝර්තුනෝෆ් විශ්වාස කරයි.

ආර්ථික සම්බාධක ඊට ඇතුළත් වෙයි. අලුත්ම වටයේ තහංචි හේතුවෙන් අරමුදල් නංවාලීමේ ශක්‍යතාව අභියෝගයකට ලක්ව ඇති අතර තීරණාත්මක මැතිවරණ වසරක ආර්ථිකය කෙරෙහි වැඩි පීඩනයක් එල්ල කෙරෙයි.

”පුතින්ට අවශ්‍ය කවර දෙයක්වත් තත්ත්වය උත්සන්න කරනු ලැබීම මගින් ඔහුට රට අභ්‍යන්තර මට්ටමින් කිසිවක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි මම හිතන්නේ නැහැ”

මගහැරිය නොහැකි දේශනය

ව්ලදිමීර් පුතින් මනාප නොවුනත් එය රුසියාවේ විපක්ෂ නායක අලෙක්සි නවාල්නි මුහුණදී සිටින තත්ත්වයත් අන්තර්ගත මානව හිමිකම් දේශනයකි. නවාල්නි වසදීමට ගොදුරු වූ රුසියාවේ පළමු දේශපාලනඥයා වන අතර මේවනවිට සිරකොට තබා ඇත.

අලෙක්සි නවාල්නිගේ දේශපාලන කාර්යාල සහ දූෂණ විරෝධී සංවිධානය මේ මොහොත වනවිට තහනම් කරනු ලැබ ඇත. මොස්කව් අධිකරණයක් විසින් එම තහනම පනවන ලද්දේ “අන්තවාදී” සංවිධාන ලෙස විනිශ්චය කරමිනි. පුතින්-බයිඩන් හමුව නිමවෙන තෙක් ඊට අදාළ තීන්දුව ප්‍රමාද කෙරෙනු ඇත.

ඒ වෙනුවට කාලය විසින් දෙනු ලබන පණිවුඩය ලෙස පෙනීයන්නේ ”පුතින් දිගටම විරුද්ධ මතධාරීන් දඩයම් කරන අතර එය ඇමෙරිකාවට අදාළ කාරණයක් නොවන” බවය.

”විපක්ෂ නායක නවාල්නි සහ මානව හිමිකම් පිළිබඳ ඔහුගේ පෙරවදන ඇතුළත් ගීය ජෝ බයිඩන් ගායනා කරාවි. අමෙරිකාවත් තමන්ට සමානය කියන ඔහුගේ ගීතය පුතින් ගායනා කරාවි” දේශපාලන විශ්ලේශිකා ලිලියා ස්වෙත්සෝවා පවසන්නීය.

”නමුත් නායකයන් දෙදෙනාගේ හමුවීම මගින් අදහස් වන්නේ ”මානව හිමිකම් නමැති ආහාර රුචිය වඩන පළමු කටගැස්මෙන්(‘hors d’oeuvre) අනතුරුව ඔවුන් දෙදෙනා ”ප්‍රධාන ආහාර වේලට” යොමුවෙන බවය. ඒ කියන්නේ පවතින ගැටුම්කාරී ආතතිය අවමකර ගන්නට අපි යමක් කරමු”. BBC