
කොවිඩ්: අන්තර්ජාලයට ඇබ්බැහි වී සිටින දරුවන්ට මග පෙන්වන සිත්තරාවිය
මේ ගෙවී යන්නේ බොහෝ දෙනා ‘කොරෝනා ආතතියෙන්’ පීඩා විඳින කාලයකි. වසරකට වැඩි කාලයක් පාසල් වසා තැබීම නිසා විශේෂයෙන් දරුවන් මේ ගැටලුවෙන් පීඩා විඳින බව මවුපියෝ පවසති. ඇතැම් දරුවන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් දක්නට ලැබේ. එමෙන්ම තම දරුවන් අන්තර්ජාලයට අධික ලෙස ඇබ්බැහි වී සිටීම විශාල ගැටලුවක් බව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ඇතැම් මවුපියෝ පැවසූහ.
එවැනි දරුවන්ගේ මානසික පීඩනය දුරු කිරීමට නම් ඔවුන් කැමැති වෙනත් දෙයක් සඳහා ඉතා ක්‍රමානුකූලව යොමු කිරීම මවුපියන් මුහුණපා සිටින ප්‍රබල අභියෝගයකි. ඒ සඳහා නොයෙකුත් උපක්‍රම භාවිත කළ හැකිය. දරුවන්ගේ මානසික ආතතිය දුරු කිරීම සඳහා සොබාදහම සහ කලාව යොදා ගන්නා ගුරුවරියක් ගැන අපට අසන්නට ලැබුණි.
”කැන්වස් එක, අපි චිත්‍ර අඳින කඩදාසිය කියන්නේ අපේ ජීවීතය. ඒ මත අපිට දුක, සතුට වගේ ඕනෑම හැඟීමක් ඉදිරිපත් කරන්න පුළුවන්. එලෙස අපේ හැඟීම් මුදා හැරිම නිසා මනසට පුදුම සැහැල්ලුවක් දැනෙනවා. මම වුණත් හිතට එන හැඟීම් අහුවුණු දෙයක ඇඳලා ඒ ආතතියෙන් මිදෙනවා. සමහර වෙලාවට බිත්තර කටුවල, මගේ ඇඟිලිවල, අතට අහුවෙන දෙයක චිත්‍ර අඳිනවා.” යනුවෙන් ගාල්ල, අවිත්තාව නාලන්දා මහා විද්‍යාලයේ ගුරුවරියක වන ශෂින්තා දිල්හානි පැවසුවාය.
ඇය අන්තර්ජාලය හරහා දරුවන්ට නොමිලේ චිත්‍ර කලාව උගන්වන්නීය. ප්‍රමාණවත් අන්තර්ජාල පහසුකම් නොලැබෙන ඇල්පිටිය, තලගස්පේ ප්‍රදේශයේ දුෂ්කර ගමක ජීවත්වන ඇය රටේ බොහෝ ප්‍රදේශවල ජීවත්වන දරුවන්ට ජීවිතය දිනන මග පෙන්වීම විශේෂත්වයකි.
මානසික පීඩනය පෙන්වන රේඛා සහ වර්ණ
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ශෂින්තා දිල්හානි පාසල් විෂය නිර්දේශයේ චිත්‍ර විෂයට අදාළ විෂය දැනුම ලබා දීමට අමතරව නව නිර්මාණ කිරීමට ද දරුවන්ට මග පෙන්වන්නීය. බොහෝ දරුවන් සිතුවමට නගන සිතුවිලි ඇය වෙත යොමු කරනු ලැබේ. ඒවායේ රේඛා සහ වර්ණ භාවිතය ගැන අවධානය යොමු කිරීමේදී ඔවුන්ගේ මානසික ස්වභාවය ගැන අවබෝධයක් ලබා ගත හැකි බව ශෂින්තා දිල්හානි පැවසුවාය.

”අපි වේගවත් රේඛා ටිකක් අඳිනවා නම් ඒ තුළ තියෙන්නේ සැනසීම හෝ නිස්කලංක බව නෙමෙයි. එතන තියෙන්නේ අපේ සිතුවිලිවල තියෙන අවේගශීලි බවක්. ඒ වගේම අපි භාවිත කරන වර්ණවලදී වැඩිපුර යොදා ගන්නේ ඌෂ්ණ වර්ණ නම් එකෙනුත් මනසේ නොසන්සුන් බව පේනවා. වැඩිපුර පාවිච්චි කරන්නේ ශීත වර්ණ නම් එතන තියෙනවා නිස්කලංක බවක්. නිදහසේ දරුවන් අඳින චිත්‍ර දිහා බැලුවාම මේ දවස්වල වැඩිපුර පෙන්නේ මනසේ නොසන්සුන් බවක්.” යනුවෙන් ඇය විස්තර කළාය.
දරුවන් අඳින සිතුවම් බොහෝ විට වට්ස් ඇප් හරහා ඇය වෙත යොමු කරනු ලැබේ. ඒවාගේ පරිමාණයේ වෙනස්කම්, වර්ණ භාවිතය සහ තවත් අවධානය යොමු කළ යුතු කරුණු ගැන ඇය නැවත දරුවන් දැනුවත් කරන්නීය. එමෙන්ම සිය ෆේස් බුක් ගිණුම, ෆේස් බුක් පිටුව සහ යූ ටියුබ් ඔස්සේ මෙන්ම ‘ZOOM ‘ හරහා ද දරුවන්ට අවශ්‍ය දැනුම ලබා දෙයි.
3D සිතුවම්
චිත්‍ර ගුරුවරියක වන ශෂින්තා දිල්හානි 3D සිතුවම් ඇඳීමට වැඩි කැමැත්තක් දක්වන්නීය. ගසක අඳින ලද ලේනෙකුගේ 3D සිතුවමක් නිසා ඇය පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයකට ලක් වුවාය.

කඳු ගැටයක පිහිටි ඇගේ නිවසට වාහනයකින් ගමන් කළ නොහැකිය. ඒ දුෂ්කර මාර්ගයේ තරමක් පළල් ස්ථානයක් තෝරාගෙන මාර්ගය හරහා ජලය ගලා ගෙන යන ආකාරය ඇය සිතුවමට නගා තිබුණි.
” මම දරුවන්ට කියන්නේ විෂය නිර්දේශයට අයත් දේවල් ඉගන ගන්න අතරතුර මම වගේ වෙනස් දෙයක් කරන්න උත්සහ කරන්න. එවිට ඔබට අලුත් ලෝකයක් දකින්න පුළුවන් වෙයි. ඒ වගේම ඔබේ මනසට සැනසීමක් ලැබෙයි.” යනුවෙන් ශෂින්තා දිල්හානි කියා සිටියාය.

අන්තර්ජාලය හරහා සජීව ලෙස වීඩියෝ ඇසුරෙන් අධ්‍යාපනය ලැබීමට නොහැකි වීම ග්‍රාමීය දරුවන් මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුවකි. මෙම ගුරුවරිය ජීවත්වන ගම්මානයට ද ප්‍රමාණවත් පරිදි අන්තර්ජාල සංඥා නොලැබේ. එබැවින් ඇය පාසල් විෂය නිර්දේශයට අදාළ පාඩම් පටිගත කර අන්තර්ජාලයට එක්කර තිබේ. එවිට දරුවන්ට පහසු අවස්ථාවක ඒවා නැරඹීමට අවස්ථාව ලැබේ.
”විෂය අතහැර යන දරුවන් ඉන්නවා.”
චිත්‍ර යනු ප්‍රයෝගික විෂයකි. පැන්සල නිවැරදි ලෙස ඇල්ලීමට නොදන්නා දරුවෝ ද සිටිති. පංති කාමරයේදී නම් නිවැරදිව පැන්සල අල්ලන ආකාරය ගුරුවරුන්ට දරුවාගේ අතින් අල්ලා කියා දීමට අවස්ථාව ඇත. එහෙත් අන්තර්ජාලය ඔස්සේ එවැනි දෙයක් ප්‍රයෝගිකව සිදු කළ නොහැකිය.
චිත්‍ර ඇඳීමේ හැකියාව තරම් අඩු මට්ටමක පැවතිය ද ඇතැම් දරුවන් විෂයට ඇති කැමැත්ත නිසා චිත්‍ර තෝරා ගනු ලැබේ. එවැනි දරුවන්ට චිත්‍ර ඇඳීමේ කුසලතාව හොඳින් ඇති දරුවන්ට වඩා ගුරුවරුන්ගේ මග පෙන්වීම අවශ්‍ය වේ.
”ඔන්ලයින් ඉගැන්වීමත් එක්ක මම දැකපු දෙයක් තමයි සමහර දරුවන් මේ විෂය හැර යෑම. විශේෂයෙන් ඒක දකින්න ලැබෙන්නේ ච්ත්‍ර ඇඳීමේ කුසලතාව තරමක් අඩු, ආශාවට චිත්‍ර තොර ගත්ත දරුවෝ. දක්ෂ ළමයි ටික වැඩ කරගෙන යනවා. නමුත් හැළෙන ළමයින් ගැන මට හරිම දුකයි. පාසලේ නම් ඒ දරුවන් ගැන පුද්ගලිකව හොයල බලන්න පුළුවන්. ඒත් ඔන්ලයින් සම්බන්ධ වෙන දරුවන්ට ඒක කොහොමද කරන්නේ ?” යනුවෙන් ශෂින්තා පැවසුවේ දුක්මුසු ස්වරයෙනි.
”ඒ වගේ දරුවන්ට මම කියන්නේ ඔබට අඳින්න පුළුවන් රවුමක් ද ඒක තුන් හතර වතාවක් අඳින්න. එවිට වෙනදට වඩා හොඳට ඔබට ඒක අඳින්න පුළුවන් වෙයි. ඒ වගේම සතියට පුළුවන් විදියට චිත්‍රයක් දෙකක් අඳින්න. එවිට ඔබේ දුෂ්කරතාවයන් මගහැරේවි.”
ගාල්ල, තලගස්පේ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බටපොල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය තමන්ගේ පාසලේ දරුවන්ට මෙන්ම රට පුරා සිටින චිත්‍ර විෂයට ඇලුම් කරන දරුවන්ට නොමිලේ දැනුම ලබා දීම ගැන බීබීසී සිංහල සේවයට මෙලෙස පැවසුවාය.
”මගෙන් ඉගන ගන්න දරුවෝ කාගේ කවුද කියන්න මම පුද්ගලිකව දන්නේ නෑ. නමුත් ගුරුවරියක් ලෙස ඒ දරුවන්ගේ ජීවිතය දිනන්න මග පෙන්වන්නට හැකිවීම ගැන මම හදවතින්ම සතුටු වෙනවා.”
Leave a Reply