නායක කිම් ජොන් අන් ශරීරයේ බර හදිසියේ අඩු වීම ගැනීම ගැන කනස්සල්ල පළ කරන උතුරු කොරියානු පුරවැසියෙකුගේ පෙර නොවූ විරූ රූපවාහිනී වීඩියෝ පටයක් එරට තුළ විකාශය කර තිබේ.

උත්තරීතර නායකයාගේ ප්‍රතිරූපය රාජ්‍ය මාධ්‍යයෙන් දැඩි ලෙස පාලනය කරන අතර, ඔහුගේ සෞඛ්‍යය ගැන පුවත් පළවීම ඔවුන්ගේ සීමාවලින් එපිටය.

කිම් ජොන් අන්ව මෑත වසරවල රටේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවල දැකිය හැකි වූයේ මෑත වසරවල සිටියාට වඩා සිහින් පෙනුමකිනි.

ඔහු බලයේ සිටි දශකය තුළ උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම කටකතා පැවතුනද, රටේ රහසිගත ලෙස ක්‍රියාත්මක වන රජය ඒවා පිළිගනු ලැබුවේ කලාතුරකිනි.

උතුරු කොරියානු ප්‍රේක්ෂකයින් දුටුවේ කුමක්ද?

රටේ ප්‍රධාන රූපවාහිනී නාලිකාව වන ‘කොරියා සෙන්ට්‍රල්හි’ මෑතකදී පෙන්වන ලද දර්ශන දෙකක් මෙම උත්තරීතර නායකයාගේ සෞඛ්‍යය ගැන කනස්සල්ල පළවීමට හේතු වී ඇතැයි සිතිය හැකිය.

එක වීඩියෝවක ඔහු ප්‍රසංගයකට සහභාගීවීම සඳහා පැමිණෙන දර්ශනයක් තිබූ අතර, ඔහුගේ ශරීරයේ බර කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙන බව දැකගත හැකි විය.

දෙවැන්න අතිශය අසාමාන්‍ය වීඩියෝ දර්ශනයකි. නම හෙළි නොකළ පියොංයැං නුවර පුරවැසියෙකු සිකුරාදා (ජූනි 25) කොරියා සෙන්ට්‍රල් ප්‍රධාන පුවත්වල පැවසුවේ, “[කිම් මහතා] එහෙම දැකීමෙන් විස්මයට පත් වුණා, අපි සියල්ලෝම අතිශයින් දුකට පත් වුණා,” යනුවෙනි.

“හැමෝම අඬන්න පටන් ගත්තා,” ඔහු පැවසීය.

මෙම මාසයේ පැවති කම්කරු පක්ෂ රැස්වීම්වල දර්ශන හා ඡායාරූප මගින් ද පෙනුනේ කිම් ජොන් අන්ගේ ශරීරයේ බර අඩු වී ඇති බවය.

Korea Central TVඡායාරූප ශීර්ෂ වැකිය,කොරියා සෙන්ට්‍රල් ප්‍රධාන පුවත්වල පෙනී සිටි උතුරු කොරියානු වැසියා

‘එන් කේ නිවුස්’ වෙබ් අඩවියේ පළ කර ඇති විශ්ලේෂණයට අනුව කිම් ජොන් අන් ඔහුගේ මිල අධික ඔරලෝසුවේ පටිය පෙරට වඩා තදින් බැඳ ඇති අතර එයින් ඇඟවෙන්නේ ඔහුගේ ශරීර බර අඩු වී ඇති බවය.

අදාළ පුරවැසියාගේ වීඩියෝව පෙන්වූයේ මන්දැයි අපි තවමත් නොදනිමු.

නමුත් උතුරු කොරියාවේ කටයුතු පිළිබඳ විශේෂඥ වෙබ් අඩවියක් වන ‘වන් කොරියා සෙන්ටර්හි’ ප්‍රධානී ක්වාක් ගිල් සීඕබ් බීබීසී සේවයට කියා සිටියේ පාලන තන්ත්‍රය “කිම් ජොන් අන් සම්බන්ධයෙන් සෘණාත්මක පුවත් ප්‍රකාශයට පත් කිරීමට කිසි විටෙකත් ඉඩ නොදෙන” බවය. මෙම පුවත පළ කිරීමෙන් “කිම් ජොන් අන් ඔහු විසින්ම සිය බර අඩු කර ගන්නා” බව පෙන්වීමට උත්සහ කර ඇත.

“ඔහු තම ජනතාව වෙනුවෙන් කැපවී සිටින බව මේ වීඩියෝවෙන් පෙන්නුම් කරනවා”, ක්වාක් ගිල් පැවසීය.

“කිම් ජොන් අන් තම ජනතාව වෙනුවෙන් දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩ කරන නායකයෙකුගේ ප්‍රතිරූපය අවධාරණය කිරීම සඳහා ප්‍රචාරක වේදිකාවක් ලෙස මෙය යොදා ගෙන තිබෙනවා.”

මෙය වැදගත් වන්නේ ඇයි?

රටේ උත්තරීතර නායකයා ලෙස සිටි කාලයෙන් වැඩි කොටසක කිම්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වීම මෙයට හේතුවක් වී තිබේ.

ඔහු 2011 දෙසැම්බර් මාසයේදී සිය පියා වූ කිම් ජොන් ඉල්ගෙන් පාලනය භාරගත් අතර උතුරු කොරියානු නිරීක්ෂකයින් පවසන්නේ බලයේ සිටි දශකය තුළ ඔහුගේ ශරීර බර ක්‍රමයෙන් ඉහළ යන බව දැකගත හැකි වූ බවය.

කිම් ජොන් අන් කොමියුනිස්ට් රාජ්‍යය මෙහෙයවන කිම් පවුලේ තුන්වෙනි පරම්පරාවේය. උතුරු කොරියාවේ පවතින්නේ පරම්පරාගත නායකත්ව ක්‍රමයකි. රාජ්‍ය ප්‍රචාරක කටයුතුවල දී මෙම පාලකයන් හඳුන්වන්නේ “Paektu කන්දෙහි උදාර පුද්ගලයන්” ලෙසය. උතුරේ පූජනීය ස්ථානයක් ලෙස හැඳින්වෙන Paektu කන්ද ජාතියේ නිර්මාතෘ ලෙස පවසන කිම් ඉල්-සුං ජපාන අධිරාජ්‍යට එරෙහිව ඔහුගේ ගරිල්ලා යුද්ධයට යොදා ගත් ස්ථානය බව කියනු ලැබේ.

කිම් ජොන් අන්ට පැහැදිලි අනුප්‍රාප්තිකයෙකු නොමැති අතර ඔහුගේ මරණය හෝ දිගුකාලීන නොහැකියාව මෙම න්‍යෂ්ටික බලය හිමි රාජ්‍යය තුළ බල රික්තයක් ඇති කිරීමට හේතු විය හැකි අතර, එය නැගෙනහිර ආසියාවට නව අස්ථාවරත්වයක් ගෙන එනු ඇත.

ඔහුගේ සහෝදරිය කිම් යෝ-ජොං රට පාලනයට නුසුදුසු යැයි සලකන්නේ නම්, රාජ්‍ය බලය පළමු වරට කිම් පවුලෙන් පිටතට මාරු විය හැකිය.

ඔහුගේ සෞඛ්‍යය මීට පෙර ගැටලුවක් වී තිබේද?

2014 දී කිම් ජොන් අන් දින 40 ක් අතුරුදහන් වී සිටි අතර, ඔහු බරපතල ලෙස රෝගාතුර වී හෝ මියගොස් ඇති බවට අනුමාන කෙරිණි. ඔහු නැවත ඉස්මතු වන විට සැරයටියක ආධාරයෙන් ඇවිද යනු දුටු අතර නිරීක්ෂකයින්ගේ නිගමනය වූයේ ඔහු වළලුකර සැත්කමකින් සුවය ලබමින් සිට ඇති බවය.

ඔහු වරින් වර මෙලෙස අතුරුදහන් වූ අතර, දකුණු කොරියානු රජය නිගමනය කර ඇත්තේ ඒ සෞඛ්‍යමය හේතු සඳහා විය හැකි බවය.

2020 දී එවැනි එක් සිදුවීමක දී කිම් නැවත පැමිණියේ ඔහුගේ මැණික් කටුවෙහි සලකුණු කීපයක් ද සහිතවය. එය යම් වෛද්‍ය ක්‍රියාපටිපාටියකින් සිදු වූවක් විය හැකිය.

ඔහු වයස අවුරුදු 37 ක් පමණ විය හැකි අතර අධික ලෙස දුම් පානය කරන්නෙකු ලෙස ප්‍රකටය. ඔහු අධික ලෙස මත්පැන් පානය කරන බව ද පැවසේ.

වසර ගණනාවක් තිස්සේ ඔහුගේ බර වැඩිවීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ පිරිස පවසන්නේ ඔහු දියවැඩියාව සහ රක්තවාතය වැනි රෝගවලින් පෙළෙන්නට ඇතැයි අනුමාන කරන බවය. එහෙත් නායකයාගේ සෞඛ්‍යය ගැන මේ දක්වා කිසි විටෙකත් රාජ්‍ය මාධ්‍යවල කතා කර නොමැති හෙයින්, මෙම කරුණු සනාථ කළ නොහැකිය.