පියාසර කරවිය හැකි මෝටර් රථයක් විනාඩි 35ක අත්හදා බැලීමේ ගුවන් ගමනක් සම්පුර්ණ කර තිබේ.

මෙම ගුවන් ගමන සිදු කර ඇත්තේ ස්ලෝවැකියාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙකක් අතරය.

මීට සවිකර ඇති දෙමුහුන් (hybrid) වර්ගයේ BMW එන්ජිම බල ගැන්වෙන්නේ සාමාන්‍ය මෝටර් රථ සඳහා යොදන පෙට්‍රල් ඉන්ධනයෙනි.

මේ ඉගිල්ලෙන කාරය එයාර්කාර් (AirCar) ලෙසින් නම් කර තිබේ.

මෙය අඩි 8,200ක් ඉහළින් කිලෝමීටර 1,000ක් එකදිගට පියාසර කරවිය හැකි බව එහි නිර්මාතෘ මහාචාර්ය ස්ටෙෆාන් ක්ලෙයින් පැවසීය.

KLEIN VISION

ඡායාරූප මූලාශ්‍රය,KLEIN VISION

මේ මෝටර් රථය, ගුවන් යානයක් බවට පරිනාමය වීම සඳහා ගත වන්නේ ‘විනාඩි දෙකයි තත්පර 15ක්’ පමණි.

“ඉතා සුන්දර, සාමාන්‍ය දෙයක්”

මෙම මෝටර් රථය තටු දෙකකින් සමන්විතය. එම තටු දෙක මෝටර් රථය දෙපසින් පහළට නමා හකුළා තැබිය හැක. එය ස්වයංක්‍රියව සිදු වේ.

මහාචාර්ය ක්ලෙයින් මෙම ඉගිලෙන කාරය ගුවන්තොටුපළේ ගොඩබැස්වීමෙන් අනතුරුව නොනවත්වාම අසල වූ නගරය වෙත පදවාගෙන ගියේය. මෙම අවස්ථාව දැක බලාගැනීම සඳහා මාධ්‍යවේදීන් පිරිසකට ආරාධනා කර තිබුණි.

සඳුදා (ජුනි 28) උදෑසන ලත් මේ ගුවන් අත්දැකීම “ඉතා සුන්දර සහ සාමාන්‍ය දෙයක්” ලෙස තමන්ට දැනුණු බව මහාචාර්යවරයා පැවසීය.

KLEIN VISION

ඡායාරූප මූලාශ්‍රය,KLEIN VISION

මෙය ගුවන් ගත කර තිබියදී පැයට කිලෝමීටර 170ක වේගයකින් පියාසර කර තිබේ.

දෙදෙනෙකුට පමණක් අසුන් ගත හැකි හැකි මේ මෝටර් රථය පියාසර කරවීමේදී දැරිය හැකි උපරිම බර කිලෝග්‍රෑම් 200කට සීමා කර තිබේ. එම නිසා නියමුවාගේ සහ මගියාගේ බරෙහි එකතුව කිලෝග්‍රෑම් 200 නොඉක්මවිය යුතුය.

කෙසේ නමුත් මෙය ඩ්‍රෝන වර්ගයේ යානා මෙන් සිරස් අතට ගොඩබෑමක් සිදුකළ නොහැකිය. මෙම මෝටර් රථය ගොඩබෑම සඳහා ගුවන්යානා ධාවන පථයක් අවශ්‍ය වනු ඇත.

ඉගිලෙන කාර් සඳහා අනාගතයේ දී හොඳ වෙළෙඳපොළක් බිහිවනු ඇති බවට ඉහළ බලාපොරොත්තු පවතී. මෙය බොහෝ කාලයක් තිස්සේ අනාගත කාල්පනික කතාන්තරවල ජනප්‍රිය අංගයක්ව පැවතුණි.

පියාසර කරවිය හැකි කාර් සඳහා අනාගතයේදී බිහිවන වෙළෙඳපොළ 2040 වසර වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක වටිනාකමකින් යුක්ත විය හැකි බවට, මුල්‍ය උපදේශන සමාගමක් වන මෝගන් ස්ටැන්ලි (Morgan Stanley) අනාවැකි පළකොට තිබුණේ 2019දී ය.

‘ඉගිල්ලෙන කාර්’ යන සංකල්පනාව හයුන්ඩායි මෝටර්ස් යුරෝප් (Hyundai Motors Europe) සමාගමේ ප්‍රධාන විධායක මයිකල් කෝල් විසින් හඳුන්වනු ලැබුවේ “අපේ අනාගතයේ කොටසක්” ලෙසිනි. අඟහරුවාදා (ජුනි 29) ඔහු මේ බව ප්‍රකාශ කළේ කර්මාන්ත වැඩසටහනක් අමතමිනි.

KLEIN VISION

ඡායාරූප මූලාශ්‍රය,KLEIN VISION

ප්‍රවාහන යටිතල පහසුකම් සැපයීමේදී දැනට පවතින අපහසුතා හා ප්‍රශ්නවලට පිළිතුරු සැපයෙන අනාගත පිළියමක් ලෙස ද පියාසර කෙරෙන මෝටර් රථ පිළිබඳව අවධානය යොමු වී තිබේ.

‘මහා වෙළෙඳපොළක්

AirCar මෝටර් රථය නිෂ්පාදනය කිරීම සඳහා අතගැසූ ක්ලෙයින් විෂන් (Klein Vision) සමාගම පවසන්නේ මෙම මූලාකෘතිය නිර්මාණය කිරීම සඳහා දෙවසරක් පමණ ගතවූ අතර “යූරෝ මුදලින් මිලියන දෙකකට අඩු මුදලක්” වැය වූ බවය.

ගෝලීය ගුවන් සේවාවන් සහ කුලී රථ සතු ව්‍යාපාරයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් හෝ මෙම සමාගමට ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන්නේනම් එය විශාල වශයෙන් සාර්ථක වනු ඇති බව Klein Vision සමාගමේ ආයෝජකයෙකු සහ උපදේශකයෙකු වන ඇන්ටන් රයැක් පැවසීය.

“එක්සත් ජනපදයෙන් පමණක් ගුවන්යානා සඳහා ඇණවුම් 40,000ක් පමණ පවතිනවා. ඒ ඇනවුම් වලින් 5%ක් ඉගිලෙන කාර්වලට පරිවර්තනය කර ගන්න පුළුවන් වුනොත්, අපට මහා වෙළෙඳපොළක් තියෙනවා.” ඔහු ප්‍රකාශ කළේය.

“නියමයි”

ගුවන් තාක්ෂණයේ භාවිත වන ඉලෙක්ට්‍රොනික ශිල්පීය ක්‍රම සහ ගුවන් යානා පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන, West of England විශ්ව විද්‍යාලයේ ආචාර්ය ස්ටීවන් රයිට් ගේ මතය නම්, වෙනත් කුඩා ගුවන් යානා සමඟ සසඳන කල මෙම ඉගිලෙන මෝටර් රථයේ ශබ්දය සහ ඉන්ධන වියදම අඩු වීම විශේෂත්වයක් බවය.

“මට පිළිගන්න සිද්ධ වෙනවා මේක ‘නියමයි’ කියල. නමුත් මේ සඳහා අනුමැතිය ලබා දීමේදී මට ප්‍රශ්න සීයක් විතර මතුවෙනවා.” ආචාර්ය රයිට් පැවසීය.

“ඕනෑම කෙනෙකුට ගුවන් යානයක් තනන්න පුළුවන්. නමුත් මිනිසෙකු ඒ තුළ සිටියදී කිසිම සිදුවීමකින් තොරව පැය ගණනාවක් වුණත් දිගින් දිගටම පියාසර කරවන්න පුළුවන් එකක් තනන එක තමයි විජ්ජාව.”

“මේක පියාසර කරවීමට ආරක්ෂිතයි, අලෙවිය සඳහා ආරක්ෂිතයි කියල ලියැවී තියෙන කඩදාසි කැබැල්ල දකිනකල් මට ඉවසිල්ලක් නැහැ.” ඔහු ප්‍රකාශ කළේය. BBC