
ආණ්ඩුවේ “උපදේශකයෙකු” වූ රනිල්ට තිබෙන එක් අසුනින් කළ හැක්කේ කුමක්ද? -රනිල්ගේ දේශපාලන භූමිකා ගැන නිර්දේශපාලන විචාරයක්
JR මල්ලව ආරච්චිගේ
ලිපියේ මුල් කොටසේ සඳහන් කළ ආකාරයට, රනිල්ගේ දේශපාලන ගමන් මග දුෂ්කර විය. ඊට මුලික හේතුව වුයේ, 2005 න් පසු රට තුල ස්ථාපිත වු සමාජ-දේශපාලන සංස්කෘතියට ප්‍රතිවිරුද්ධව නැගි සිටීමට උපක්‍රම ශීලී හැකියාවක් නොතිබීමයි. ඒ වාතාවරණය තුල එක්සත් ජාතික පක්ෂයත් එහි නායකත්වයත් ආරක්ෂා කර ගැනීම අතිශය දුෂ්කර විය. මෙහිදි පැසසිය යුතු ලක්ෂණය නම්, රනිල් සිය දේශපාලන දැක්මේ සහ ස්ථාවරයේ දැඩිව රැඳි සිටීමයි. උදාහරණයක් ලෙස, රාජපක්ෂලා සිය බලය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම අනිත් සියලු පක්ෂ විනාශ කරන විට, රනිල් එක්සත් ජාතික පක්ෂය රැකගැනීමට දැඩි වෙහෙසක් දැරීය. අනිත් අතට රාජපක්ෂලා දේශපාලනය “පාදඩකරණය”(Bastardization) කරන විට, ඊට සාපේක්ෂව, රනිල් “ප්‍රජාතන්ත්‍රවාදි” (Democratic ) දේශපාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරීය. රනිල්ගේ මේ ගමනේ ප්‍රතිඵලය වුයේ, 2015 ආණ්ඩුව පිහිටු වීමයි. එහෙත් එවකට පැවැති “පාදඩ සමාජ-දේශපාලන සංස්කෘතිය” තුල රනිල් අතර මං විය. එය එසේ නොවිය යුතුව තිබුනේය, පැවැති තත්වය කලමනාකරණය කිරීමට හැකියාව ප්‍රමාණයටත් වඩා තිබිණි. එහෙත්, අප පෙර කී ආකාරයට රනිල් හිතා මතා තම වගකීම පැහැර හැරියේ දැයි පැහැදිලි නැත!
රනිල්ගේ දේශපාලන චර්යාවේ ගුප්ත බව…
පෙර සඳහන් කල පරදි, රනිල්ගේ දේශපාලන භූමිකා එකිනෙකට වෙනස් විය. ඒවායේ විවිධ චරිත ලක්ෂණ විය. එවැනි, තවත් එක් ලක්ෂණයක් වන්නේ ඔහු ඇතැම් අවස්ථාවල “විවෘත දේශපාලන චරිතයක් නොවිමයි”. යහපාලන රජයේ අග්‍රාමාත්‍ය තනතුරු දැරු අවස්ථාවේ මෙය වඩා පැහැදිලි විය. රනිල්ගේ දේශපාලනයේ ගුප්ත බව බොහෝ විට දිස්විය. නායකත්වය ප්‍රකට කරමින් ඉදිරිපත් විය යුතු අවස්ථාවල දි, ඔහු මග හරියි. පෙරට පැමිණිය යුතු තැන්වල පසු බායි. කථා කළ යුතු අවස්ථාවේ නිහඬ වෙයි. දේශපාලනයේදි ගුප්ත චරිතයක් වීම, ඇතැම් විට උපක්‍රමයක් බවත් ඔහුගේ දිගු ගමනේ ඇතැම් ප්‍රතිඵල වලින් පැහැදිලි වේ. එහෙත්, 2015-2019 කාලයේ මේ ගුප්ත බව ඔහු ගේ අසාර්ථකත්වයට හේතුවක් විය.
රනිල්ගේ දැක්ම සහ දේශපාලන විසඳුම් යථාර්ථවාදී වුවත්, ඒවා ක්‍රියාවට නැගීමේ දී බරපතල ප්‍රායෝගීක ගැටලු තිබිණි. ඇතැම් විට ඔහු ගොඩ නගන සංකල්ප හෝ විසඳුම් ක්‍රියාවට නැගීම පක්ෂයේ සෙසු සාමාජිකයින්ගේ කාර්යයක් සේ ඔහු සැලකුවා විය හැක. එහෙත්, ඒ සඳහා පෙලඹවීමක්, විධිමත් ක්‍රමවේදයක් සහ සංවිධානාත්මක බවක් එක්සත් ජාතික පක්ෂයේ තිබුනේ නැත. නායකයාගේ දැක්ම හෝ චින්තනය ක්‍රියාත්මක කිරීමට තරම් බුද්ධියක් තිබෙන දේශපාලකයින් අද පක්ෂවල නැත. අනිත් අතට, පක්ෂයේ සාමාජකයින් එවන් ආකාරයට පුරදු-පුහුණු කර පෙළඹවිය හැකි “නායකයින්” ද අද දේශපාලන සංදර්භය තුල බිහි නොවේ. ඒ වෙනුවට දේශපාලනය තුල බිහි වන්නේ සාමුහික ව්‍යසනයකට රට ගොදුරු කරන “දේශපාලන-විලෝපිකයින්” රැලකි.
රනිල්ගේ දේශපාලන කන්ඩායමේ තිබු අලසකම, නූගත්කම සහ නොහැකියාව නිරීක්ෂණය වන විට ජනතාව තුල ගොඩ නැගුනේ “අපි මහා දේශපාලන අපරාධයක් කළා යන හැඟීමයි”. ජනතාව ඒ ගැන පශ්චාත්තාප වනවා වෙනුවට, ඒ නිසා ඇති කරගත්තේ බද්ධ “වෛරයකි”. වසර 76 කට පසු, 2020 මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට අත් වු ඉරණම දෙස බැලීමේදි, එම වෛරයේ බිහිසුනු බව ප්‍රකට වේ.
බොහෝ අවස්ථාවල දි, රනිල්ගේ නායකත්වයේ ඉතාම ශක්තිමත් ස්ථාවරයන් තිබිණි. පෙර සඳහන් කල පරිදි, පක්ෂය රැක ගැනීමට ඔහු අදීනව කැප වීය. නමුත්, පක්ෂය පෙරටු කරගත් දේශපාලන ජයග්‍රහණයකදී, එය අවස්ථාවක් කරගනිමින්, රටට අවශ්‍ය නායකත්වය හෝ පක්ෂයේ ඒකාග්‍රතාවය ආරක්ෂා කරගැනීමට ඔහුට නොහැකි විය.
යහපාලන ආණ්ඩුව පැවැති වසර 4 තුල මේ තත්වයන් ප්‍රකට වු අතර “ජනතාව රනිල්ව දැඩිව ප්‍රතික්ෂේප කිරීමට” පෙළඹෙන්නේ මේ කාලයේදී ය. අනිත් අතට, ඔහුගේ පක්ෂයේ සාමාජීකයන්ගෙන් ප්‍රකට වුයේ ද මුග්ධ චර්යාවකි. එය තමන්ට ලැබුණ අවසාන අවස්ථාව ලෙස පුරෝකථනය කරමින් පක්ෂය හෝ තම අසුන රැක ගැනීමටවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට නොහැකි විය.
තමන් ගොඩ නැගු දේශපාලන ව්‍යාපෘතිය අයාලේ යන විට රනිල් ඒ වෙනුවෙන් කිසිදු දෙයක් නොකර එයට දැක් වු ප්‍රතිචාරය ඉතා “අසංවේදී” විය; “වගවීමෙන්” තොර විය. රනිල්ගේ “දේශපාලන නොන්ජල්කම” නිසා එසේ සිදු වුවා විය හැක. විශේෂයෙන්ම, තමන් දැරු අග්‍රාමාත්‍ය ධූරය ජනාධිපතිවරයා විසින් අපහරණය කරන විට, රනිල් ඊට දැක් වු ප්‍රතිචාරයෙන් ප්‍රකට වුයේ පරිනත දේශපාලන උපක්‍රමයක් නොව නිවට ස්වාභාවයකි.
යහපාලනයේ අවසන් මොහොත තෙක්, ජනතාව මුව අයාගෙන බලා සිටියේ, කිසියම් මොහොතක හෝ රනිල් මහා වෙනසකට මුල පුරා සියලුම වැරදි නිවැරදි කරාවි කියා ය. එහෙත්, කිසිදු අවස්ථාවක එවැනි පෙරැළියක් සිදු නොවිය.
බලය තිබුන විට පක්ෂය රැක ගැනීමට අපොහොසත් වීම..
විපක්ෂයේ සිට අසීමිත වෙහෙසක් දරමින් රැකගත් පක්ෂ නායකත්වය සහ පක්ෂය බලයට ආ පසු ආරක්ෂා කර ගැනීමට රනිල්ට නොහැකි විය. නායකත්වය අත්‍යාවශ්‍යම වු මොහොතේ එය ගොඩ නැගුනේ නැත. ඔහුගේ වටා සිටි බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට දායකත්වය දිය යුතු ව තිබුන ද, එවන් පරිචයක් කිසිවෙකු තුල තිබුනේ නැත. ආණ්ඩුව පිහිට වු පසු ඔවුන් හැසිරුනේ සිහි විකලෙන් මෙනි, කිසි කෙනෙකුට තමන් පැවරුණ අමාත්‍යාංශවල වගකීම ඉටු කරන්නට නොහැකි විය. විපක්ෂය විසින් ඇට වු දේශපාලන මර උගුල් වල ඔවුන් වැටිනි.
රනිල් මුල්තැන දුන්නේ තමන් වටා සිටි පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට කුමන හෝ බලයක් සහ අමාත්‍යාංශයක් හදා දී ආණ්ඩුව ස්ථාවර කරගැනීමටය. ඒ සඳහා ඔහු ගොඩ නැගු අමාත්‍යාංශ රට තුල දේශපාලන විහිලුවක් බවට පත් කළේය. ඩිජිටල් අමාත්‍යාංශය උදාහරණයකි. එය සාමාන්‍ය මනුෂ්‍ය-බුද්ධියට සහ දැනුමට අවමන් කරන ආණ්ඩුවක් විය. යහපාලනය පිලිබඳ සංකල්පයක් එහි නොවීය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට අමාත්‍යාංශයක් නොමැතිව රටට අසීමිත සේවාවක් කිරීමට බලය සහ අවස්ථාව ලැබිය යුතුය. විසඳිය යුතු ගැටලු අපමණක් රටේ ඇත. ඒ සඳහා බොහෝ සම්පත් රටේ එමට ඇත. ඒ බව සිය මන්ත්‍රී කණ්ඩායමට පැහැදිලි කර දී, ඒ මොහොතේ රටට අවශ්‍ය වු තිබු නායකත්වය සහ “දේශපාලන වෙනස” බිම් මට්ටමේ සිට ගොඩ නැගීමට උත්සාහ කළේ නැත. රනිල්ට හෝ පක්ෂ සාමාජිකයින්ට එවැනි දැක්මක් තිබුනේ නැත.
යහපාලනය ප්‍රතික්ෂේප වීම පුනාරාවර්තනය වන දේශපාලන පාඩමකි..
මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් වන්නේ, යහපාලන ආණ්ඩුව ප්‍රතික්ෂේප වීම හමුවේ ඇතැමෙක් කීවේ එක්සත් ජාතික පක්ෂය සිංහල බෞද්ධ පදනමින් ඈත් වු නිසා පරාජය වු බවයි. තමන් පරාජය වුයේ කුමක් නිසා දැයි සිතීමට පවා බැරි තරමට ඔවුන්ගේ සිහිය විකල් වී තිබිණ. තමන් රටට පොරොන්දු වුයේ යහපාලනය බව, ඔවුන්ට අමතක වී තිබිණ. සැබැවින්ම ශ්‍රී ලාංකික දේශපාලනයේ බල පදනමේ “සිංහල බෞද්ධ පදනම” කියා විකාරයක් නැත. එයට ඉතා බලවත් සාක්ෂි කිහිපයක් ඇත.
ඩී.එස්.සේනානායකගේ සිට ආර්.ප්‍රේමදාස දක්වා එක්සත් ජාතික පක්ෂ නායකයින් ප්‍රමුඛත්වය දුන්නේ රටේ දරිද්‍රතාවය පිටු දැකීමටය. ඔවුහු දේශපාලනය සංවර්ධන ව්‍යාපෘති බවට පත් කළහ. ඒ සඳහා ඔවුන් ආමන්ත්‍රණය කළේ ජනතාවටයි. බණ්ඩාරනායක දේශපාලන දැක්මද එසේමය. එදා පංච මහා බලවේගය හැදෙන්නේ රටේ සියලුම වැඩ කරන ජන බලවේග එක් රැස් කරමින්, රටේ සංවර්ධනයට ජාතික ශ්‍රමය දායක කරගැනීමටයි. එහෙත්, අද දේශපාලන භාවිතය, ජන මතය තුල ක්ෂණිකව ප්‍රතික්ෂේප වෙමින් ඇත. යහපාලනය පිටු දැකපු වේගයට වඩා වේගකයකින් ජනතාව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතික්ෂේප කරමින් සිටිති, එය යහපාලනය ප්‍රතික්ෂේප වීමට බල පෑ හේතුන් හි ප්‍රසාරණයයි.
රනිල්ගේ දේශපාලන ප්‍රඥාව ප්‍රායෝගික දේශපාලනයට එක් නොවීමේ විපාකය..
අද අප ගොදුරු වී ඇති, මේ දේශපාලනය ආරම්භ වන්නේ 1977 සිදු වු සමාජ-දේශපාලන ආර්ථික පෙරලියත් සමගයි. එතැන් සිට රට දැඩි දේශපාලනීකරණයකට ( Politicization ) ගොදුරු විය. මහජන ඡන්දයෙන් පත්වෙන දේශපාලකයා සියල්ල පාලනය කරන තත්වයට පත්විය. එහිදී ද, විශේෂයෙන්ම 2005 න් පසු දේශපාලනය සියලු සැප-සම්පත් දෙන කප් රුකක් බවට පත් විය. දේශපාලකයාට ගණිකාවකගේ පහස අවශ්‍ය වු විට, මහජන මුදලින් එය ද සපයාගත හැකි තරමට “දේශපාලන බලය” සරල විය. අනිත් අතට ඡන්ද දායකයාට පගාව දී ඡන්දය ගන්නා තරමට දේශපාලකයා ධනවතෙක් විය. ඕනැම අපරාධයක් කර එයින් මිදීමට දේශපාලකයාට විමුක්තිය හිමි වන්නේ මේ දේශපාලන ක්‍රමය තුලය.
පක්ෂ-විපක්ෂ භේදයකින් තොරව දේශපාලකයා රටේ සියලුම සම්පත් අපහරණය කරන්නේ මේ බලය නිසාය. මේ දේශපාලන ලක්ෂණය හැඳින් වීමට “පාදඩ සමාජ-දේශපාලන සංස්කෘතිය” (Bastardized Social-Political Culture) යන උදෘත පාඨය අප පාවිච්චි කරන්නේ මේ නිසාය. මේ තත්වය, පෙර කී දේශපාලනකරණයේ අශිෂ්ට අන්තයයි. රනිල් වැනි පරිනත දේශපාලඥයෙකු රටට අවශ්‍ය වුයේ මේ දේශපාලන සංස්කෘතිය විපරිනාමය කිරීමට ය; මුලිනුපුටා දැමීමට ය. ඒ වෙනුවට, මනුෂ්‍ය පැවැත්මට වඩාත් සුදුසු ප්‍රජාතන්ත්‍රවාදී සමාජ පරිසරයක් රටේ ගොඩ නැගීමට ය. එදා රනිල් දේශනා කළ යහපාලන සංකල්පයේ අදහස් කළ දේට වඩා යමක් රටේ ජනතාව අවබෝධ කරගත්තේ ඔවුන් මේ තත්වය අත් විඳි නිසාය.
ආණ්ඩුවේ “උපදේශකයෙකු” වූ රනිල්ට තිබෙන එක් අසුනින් කළ හැක්කේ කුමක්ද?
අද ද රනිල් දේශපාලනයට එකතු වන්නේ, ඒ දේශපාලනයේම තිබෙන අපමණක් ප්‍රෝඩා සමගය. මාස 15 කට පසු, අහම්බෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඔහු කථා කළේ පාර්ලිමෙන්තුවේ එදිනෙදා සාකච්ඡා කෙරෙන ඉතා සරල දේවල් ගැනය. ඔහුගේ මුල්ම දේශපාලන කථාවේදී ඔහු හැසිරුනේ ආණ්ඩුවේ “උපදේශකයෙකු” සහ “හිතවතෙකු” ලෙස ය. ඔහු කථා කළේ කොවිඩ් -19 කාර්ය සාධක බලකායේ අඩුපාඩු ගැනය. ඔහුගේ අදහස වුයේ සියලුම දෙනා එක් වී වැඩ කරන ආකාරය ගැන ය. මෙහිදි අවධාරණය කළ යුතු, රනිල්ගේ දේශපාලනයේ තිබූ, ඔහු “නූගත්-පාඩමක්” (an Unlearned Lesson) වන්නේ, ඔහු කිසිදු දිනෙක ජනතාවට ආමන්ත්‍රණය නොකිරීමයි.
රනිල්ට බලය ලැබීමෙන් පසු තමන්ට සුලුවෙන් හෝ නැගී සිටීමට අවස්ථාව දුන් පාක්ෂකියන් හිතවතුන් අමතක වීම ස්වභාවයකි..! මෙහිදී, හිටපු ඇමරිකානු ජනාධිපති වරයෙක් වු John F. Kennedy ගේ කියමනක් මතක් කළ යුතු යැයි සිතමු, the ignorance of one voter in a democracy impairs the security of all. රනිල් මුලින්ම කතා කළ යුතුව තිබුනේ තමන්ට ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තු ඒමට ඡන්දය දුන් දෙලක්ෂ පනස් දාහකට ආසන්න ජනතාවට ස්තුති කිරීම ය. ඔහු එතරම්වත් නිහතමානී වූයේ නැත..! යහපාලන සමයේ තමන්ගේ අතින් වු දේශපාලන වැරදි වලට අවම කනස්සල්ල හෝ පල කළේ නැත. තමන්ට ලැබුනු මේ අහඹු අවස්ථාවෙන් රටට සාධනීය සේවාවක් කරමින්, තමන් පෙර කළ වැරදි නිවැර දි කිරීමට දායක වන්නේ කෙසේ දැයි රනිල් පැහැදිලි කළේ නැත. තමන් අත්හැර ගිය පක්ෂ සාමාජිකයින්ට නැවත පක්ෂයට එන ලෙස ඔහු සාධාරණ ඉල්ලීමක් කළේ නැත. මෙය අප මුල් කොටසේ සඳහන් කළ රනිල්ගේ “අනාගතය නොදැකීමේ” සහ “අසංවේදි බව” වැනි චරිත ලක්ෂණ සඳහා හොඳම උදාහරණයි. රනිල් අද කළ යුතුව ඇත්තේ, අතීත එජාප නායකයන්ගේ දේශපාලන ව්‍යවහාරයේ තිබූ චර්යාවන් විශ්ලේෂණය කිරීමයි, එවිට ජනතාවට ආමන්ත්‍රණය කරන්නේ කෙසේ දැයි උගත හැකිය.
අද වන විට කිසිදු සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් ස්වාධීනව පාර්ලිමේන්තුව නියෝජනය නොකරයි. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂයේ කොටසකි. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, ජාතික ජන බලවේගය, ආදිය තුල විවිධ කණ්ඩායම් හෝ පුද්ගලයින් එකතු වී ඇත. ජාතික ලැයිස්තුවේ එක් ආසනය හෝ නොවන්නට එක්සත් ජාතික පක්ෂයක් ද නැත. දැනට ස්වාධීන පක්ෂයක් විදියට සිටින්නේ එය පමණි..!
2015 දී, රනිල්ට ලැබුන දෙවන ස්වර්ණමය දේශපාලන අවස්ථාවෙන් උපරිම දේශපාලන ප්‍රතිලාභ ලැබුවේ අද ආණ්ඩුව හොබවන එවකට තිබු විපක්ෂයයි. අද ද රනිල්ට ලැබුණ එක් ආසනයෙන්, ආණ්ඩුව ආරක්ෂා කිරීමට කිසියම් දේශපාලන-ප්‍රෝඩාවකට සුදානම් වන්නේ දැයි අපි සැබැවින්ම නොදනිමු..! නමුත් පළමු කතාවේ පමණක් නොව කතාවෙන් පසු නාරාහේන්පිට රාජපක්ෂලාගේ පන්සල වන්දනා කිරීමෙන්ද එවැනි ලක්ෂණ ප්‍රකට වී තිබේ.
රනිල්ගේ දේශපාලන-පුනරුත්පත්තිය ගැන මත කිහිපයක් ඇත. ඒ අතර, රාජපක්ෂලා සමග ඇති කරගත් “ඩීල්” එකක් පන්සල හරහා ක්‍රියාත්මක වීම, දැනට දේශපාලනයේ සිටින චරිතයක් තෝරා එය ජනප්‍රිය කර වීම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එයින් ඉවත්කර රනිල් එතැනට පැමිණීම, වැනි අදහස් කිහිපක් මාධ්‍ය තොරතුරු අතර කියැවිය හැකිය. කෙසේ වෙතත්, දැනට රටේ පවතින “පාදඩ සමාජ-දේශපාලන සංස්කෘතිය” තුල, මෙවැනි “ඩීල්” හැර ශිෂ්ට දේශපාලනයක් බලාපොරොත්තු විය නොහැකිය. මෙහිදි සඳහන් කළ යුතු කාරණයක් වන්නේ, පොදුවේ අප කළ නිරික්ෂන වල දී පැහැදිලි වන්නේ, රනිල්ගේ දේශපාලන පුනරාගමනය ගැන ජනතාව තුල විශ්වාසයක් නොමැති බවයි..!
රනිල්ගේ පුනරුත්පත්තියේ අරමුණ කුමක් ද?
අප පෙර කී පරිදි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රනිල් දේශපාලනඥයෙකි. ඔහුව ප්‍රතික්ෂේප කළේ ජනතාවයිෙ. රනිල් අද කළ යුත්තේ ඒ ජනතාවට ආමන්ත්‍රණය කිරීමයි. ඒ සඳහා භාෂාවක් ද, කථා කළ යුතු මාතෘකාවක් ද, පරිසරයක් ද ගොඩ නගා ගැනීමයි. ඒ සඳහා තමන්ට ලැබුණ එකම අවස්ථාව අතිශයින්ම සාධනීය ලෙස යොදා ගත යුතුය. එය දැන් රටේ තිබෙන දේශපාලනය අභිබවා යන සැබෑ දේශපාලන ව්‍යපෘතියකි. “ඩීල්” දේශපාලනයට තිබෙන “ඉල්ලුම” සහ “සැපයුම” රනිල් මේ මොහොතේ කලමණාකරනය කර ගත යුතුය. එම “කළමණාකරනය” රනිල්ගේ දේශපාලන ප්‍රඥාවෙන් ගත හැකි වඩාත් ශක්‍ය ප්‍රයෝජනයයි.
අද රටේ ජාතික අවශ්‍යතාවය කුමක්ද, රට දැන් පත්ව ඇති තත්වය කුමක්ද, ජනතා අභිලාෂය කුමක්දැයි යන මත විමසන විට පැහැදිලි වන්නේ, රට දැන් පත්ව ඇත්තේ “දේශපාලන සංකාන්ත්‍රි” අවධියකට බවයි. මේ තුල දැකිය හැකි සුවිශේෂ ලක්ෂණය නම්, රටේ “අරාජික” බවයි. මෙහිදි අවධාරණය කළ යුතු කරුණක් ද ඇත. රටක තුනෙන්-දෙකේ බලය තිබෙන විධායක ජනාධිපතිවරයෙක් සිටි පමණින් හෝ ඊනීයා තුනෙන්-දෙකේ බලය ඇති ආන්ඩුවක් තිබූ පමණින්, ඒ රට ජාතිය අරාජික බවින් නොමිදෙන බවයි. මේ තුල රනිල්ට දේශපාලන විජ්ජාවක් කළ නොහැකි නමුත් පොදු ජන මතයට ආමන්ත්‍රණය කළ හැකිය.
2009 වසරේ ආරම්භ වූ මේ අරාජික බව අද ඉතා තිව්ර වී ඇත. මේ තුල පවතින “පාදඩ සමාජ-දේශපාලන ක්‍රීඩාවේ” ඉත්තකු වනවාද? නැතිනම්, උගත් පාඩම් වලට මුල් තැන දෙමින්, ස්වාධීනව සිතමින්, සිය මුතුන් මිත්තන් නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂයේ පොදු අරමුණ වෙනුවෙන් කැප වී, තමන්ට සම්පුර්ණ කළ නොහැකි වු ඒ දේශපාලන මෙහෙය සම්පුර්ණ කරනවාද යන්න රනිල් හමුවේ මේ මොහොතේ ඇති වගකීමයි.
අප මේ ලිපි ආරම්භයේ කී ආකාරයට, රනිල් මේ වගකීම ඉටු කරන්නේ කෙසේද යන්න ඔහු විසින්ම විසඳාගත යුතු පැනයකි. Lankaenews
Leave a Reply