
ශ්‍රී ලංකාවේ ඩොල්ෆින්, කැස්බෑවන්, තල්මසුන් ඇතුළු සමුද්‍ර ජීවීන්ට වන හානිය “පරම්පරා ගණනාවකට බලපාවි”
ගතවගිය සති කිහිපය ඇතුළත,ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ඇවිද ගිය බොහෝ දෙනාට දක්නට ලැබුණේ ඉතා වේදනාබර සහ විශ්මිත දසුනකි; මියගිය කැස්බෑවන් සහ මත්ස්‍යයන් බොහෝ ප්‍රදේශවල වෙරළට ගොඩ ගසා තිබිණ.
දින 13ක් ගිනි ගෙන පසුව මුහුදුබත් වූ X-Press Pearl නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට විෂ කාන්දු කිරීමෙන් අනතුරුව මේ වනවිට අඩුම තරමින් කැස්බෑවන් 207කගේ, ඩොල්ෆින් මසුන් 20කගේ සහ තල්මසුන් පස් දෙනෙකුගේ සිරුරු හමු වී තිබේ.
පරිසරවේදීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනා මියගිය සමුද්‍ර ජීවීන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලවල බෙදා හරිති; කුඩා ප්ලාස්ටික් කැබලි ගිල දැමූ මාළුන්ගේ සහ සිරුරු පිලිස්සී මියගිය බවක් දැක්වෙන ජීවීන්ගේ ඡායාරූප ඒ අතර වෙති.
ඇතැම් පරිසරවේදීන් එය විග්රහකරන්නේ “ශ්‍රී ලංකා ඉතිහාසයේ බරපතලම සමුද්‍ර ව්‍යසනය” ලෙසිනි.
“අපේ මුහුදේ මළගම” ලෙසින් පරිසරවේදී නයනක රන්වැල්ල මේ ව්‍යසනය හඳුන්වන අතරවාරයේ, එමගින් කලාපීය සමුද්‍ර ජීවීන්ට දිගු කාලීන දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
මියගිය කැස්බෑවන්, ඩොල්ෆින් සහ තල්මසුන් මෙසේ වෙරළට ගොඩගසනු ලබන්නේ “වාරකන් කාලය” හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ගේ මතය වී තිබිණ.
එහෙත් වනජීවී අමාත්‍ය සීබී රත්නායක බීබීසීය සමඟ කියා සිටියේ, එම සතුන් මියගොස් අත්තේ නයිට්‍රික් අම්ල, සෝඩියම් ඩයොක්සයිඩ්, තඹ සහ ඊයම් රැගෙන යාත්‍රා කළ නෞකාවෙන් කාන්දු වූ විෂ රසායන හේතුවෙන් බවය. ඊට අමතරව, නෞකාවේ ඛණිජ තෙල් ද තිබිණ.
“මේ ගොඩක් කැස්බෑවෝ සහ අනිත් සත්තු මැරිලා තියෙන්නේ නැවේ විෂ කාන්දුව නිසා බව පැහැදිලියි,” ඔහු පැවසීය.
“උදාහරණයක් විදියට ඔබට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවුණොත්, අඩුම තරමේ ඔබේ හම පිච්චෙනව. මේ සත්තුන්ට වෙලා තියෙන්නෙත් ඒකම තමයි.”
‘අපි හිතනවට වඩා බරපතලයි’

ලොව පුරා වෙසෙන කැස්බෑ වර්ග හතකින් පස් වර්ගයකට අයත් කැස්බෑවෝ බිත්තර දැමීම සහ ආහාර සෙවීම පිණිස සැරිසරමින් ශ්‍රී ලංකා සමුද්‍ර තීරයට ද පැමිණෙති. වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින Loggerhead කැස්බෑවන් ද ඒ අතර සිටිති.
කැස්බෑවන් පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය ලලිත් ඒකනායක පවසන්නේ, X-Press Pearl නෞකාවේ විෂ කාන්දුව සිදුවූයේ කැස්බෑවන් බිත්තර දමන සහ සංක්‍රමණික කාලය තුළ (peak nesting and migrating season) බැවින්, එය කැස්බෑ පරම්පරා ගණනකට බලපානු ඇති බවය.
“කැස්බෑවන්ට විෂ පෙවුණොත්, ඒවා උන්ගේ බිත්තරවලටත් යනවා. ඒ කියන්නේ ඊළඟට උපදින්නේ අඩු ප්‍රතිශක්තියක් සහිත දුර්වල කැස්බෑ පැටවු වෙන්න පුලුවන්,” ඔහු බීබීසී සමඟ පැවසීය.
“මේක නිසා වැඩිහිටි කැස්බෑවන්ගේ ප්‍රතිශක්තියත් අඩුවෙන්න පුළුවන් විතරක් නෙවෙයි, ඔවුන්ගේ ස්නායු පද්ධතියටත් මේ විෂ කාන්දුවීම බලපාල, ටික දවසකින් ඔවුන් මියයන්න පුළුවන්. ඒ නිසා මේකේ සැබෑ බලපෑම අපි හිතනවට වඩා ගොඩක් වැඩියි.”

ඡායාරූප මූලාශ්‍රය,REUTERS
ශ්‍රී ලංකාවේ නීතිය ප්‍රකාර මියගිය කැස්බෑවන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන අතර, එහි ප්‍රතිඵල මෙතෙක් අනාවරණය වී නැත.
අමාත්‍ය සීබී රත්නායක පවසන්නේ, දැන් තත්ත්වය සමනය වෙමින් පවතින බවය.
එහෙත් බීබීසීය සමඟ අදහස් දක්වමින් මොරිෂස් (මුරුසිය) ජාතික සමුද්‍ර ජීව විද්‍යාඥවරියක වන ෂාමා සංදූයෙයා (Shaama Sandooeya) කියා සිටියේ, මෙවැනි බරපතල ව්‍යසනයකින් අනතුරුව වර්තමානයේ සහ අනාගතයේදීත් එය සමුද්‍ර ජීවීන්ට විවිධ ආකාරවලින් බලපෑමට ඉඩ තිබෙන බවය.
එබැවින් “ඉදිරි දශක ගණනාවක්” තත්ත්වය නිරීක්ෂණය කිරීමට සිදුවනු ඇති බවත් ග්‍රීන්පීස් සංවිධානයේ ක්‍රියාධාරිනියක ද වන ඇය පවසන්නීය.
“ඊයම් ඇතුළු මේ සියලු විෂ රසායන සමුද්‍ර ජීවිතයට බලපෑමක් කරනවා. අපි මේ කතා කරන්නේ ජාන විකෘති, ලෙඩ රෝග සහ මොළයේ ගෙඩි (tumour) වගේ දේවල් ගැන. ඊයම් නිසා මරුමුවට පත්වීම විතරක් නෙවෙයි, ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියට වගේම ආහාර ජාලයටත් ලොකු බලපෑමක් ඇතිවෙන්න පුළුවන්,” ඇය සඳහන් කළාය.
“අනික මේ විෂ රසායන සමුද්‍ර ජීවීන්ගේ ශරීරයට ඇතුළු වුනාම ඔවුන් ගොදුරු කරගන්න විශාල සතුන්ගේ ශරීරයටත් ඒවා ඇතුළු වෙනවා.”

‘මළ මුහුදක්’
ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය, හැනා සිංගර්-හම්දී පවසන්නේ, නෞකාව මගින් විෂ සහිත අපද්‍රව්‍ය පරිසරයට මුදාහරිමින් “අපේ ග්‍රහලෝකයට බරපතල හානියක් සිදුකර ඇති” බවය.
එමගින් ජලයේ පීඑච් අගය වෙනස්කිරීම හේතුවෙන් ඇල්ගී වර්ග විනාශවීම පමණක් නොව කොරල් පර මරා දැමෙනු ඇති බවත් පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා පෙන්වා දී තිබුණි. ඇය පවසන්නේ, ආහාර හිඟවීම හේතුවෙන් එමගින් මත්ස්‍යයන් වෙනත් ප්‍රදේශ කරා යාමට ඉඩ තිබෙන බවය.
“ඒක මළ මුහුදක් වෙන්න පුළුවන්. මේ තත්ත්වය වෙනස්වෙන්න පරම්පරා ගණනක් ගතවෙන්න පුළුවන්.”

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
ධීවර සහ සංචාරක කර්මාන්තවල නිරත පිරිස්, මෙමගින් සෘජුවම තර්ජනයට ලක්වන කණ්ඩායම් දෙකක් බව එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය පෙන්වා දෙන්නීය.
ඇමෙරිකානු පරිසරවේදිනියක වන සොෆියා කියානි (Sophia Kianni) පවසන පරිදි, තවත් බොහෝ කලෙකට මාළු විෂවීමේ තර්ජනයට මුහුණදීමට සිදුවිය හැකිය.
“විෂ රසායන සහ ලෝහ මගින් මාළුන්ට විෂ කවනවා විතරක් නෙවෙයි, අනෙක් සමුද්‍ර ජීවීන්ටත් බරපතල බලපෑමක් එල්ලවෙන නිසා මේක දශක ගණනාවක් තියේවි,” ඇය බීබීසී සමඟ කියා සිටියාය.
“අනික මුහුදට වැටුණ නයිට්‍රික් අම්ලය නිසා මුහුද ආම්ලික වෙලා සමුද්‍ර ජීවීන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කරන්න පුළුවන්.”

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු ගිනිය නොහැකි තරම් වූ කුඩා ප්ලාස්ටික් බිඳිති ශතවර්ෂ ගණනාවක් සාගරය බොඳ කරන තවත් බරපතල තර්ජනයකි.
විෂ සහිත නොවුණ ද, මෙම ප්ලාස්ටික් බිඳිති සිරවී කුඩා මසුන් මිය යා හැකි අතර, සැතපුම් දහස් ගණනක් දුරට ඒවා මුහුදේ පාවී යා හැකිය. වෙරළට පාවී ආ මත්ස්‍යයන්ගේ උදරයේ සහ මුඛයේ දැනටමත් මේ ප්ලාස්ටික් කැබලි හමු වී තිබේ.
“අපි ප්ලාස්ටික් කියන්නේ non-biodegradabl දෙයක්,” ශ්‍රී ලංකා වන ජීවී සහ පරිසර ආරක්ෂණ සමාජයේ (Wildlife and Nature Protection Society) ග්රැහැම් මාෂල් පැවසීය.
“මේ කුඩා කැබලි මයික්‍රෝ කැබලි බවට පත්වෙලා, නැනෝ ප්ලාස්ටික් බවට පත්වෙලා සමුද්‍ර ජීවීන්ගේ ආහාරවලට එකතුවෙනවා විතරක් නෙවෙයි, ඉතා සංවේදී මුහුදු තණබිම් සහ කඩොලාන ශාකවලත් තැන්පත් වෙනවා. ඒ කියන්නේ මේකේ බලපෑම පරම්පරා ගණනක් තියෙනවා.”
‘මීටත් වඩා බරපතල වේවි’
විෂ රසායනවලින් ඉන්දීය සාගරය කැළඹූ පළමු නෞකාව X-Press Pearl නොවේ.
2020 ජූලි මාසයේ, මනස්කාන්ත නීල ජලය සහිත මොරිෂස් දූපතේ (මුරුසිය) මේහබර්ග් (Mahébourg) කලපුව සම්පූර්ණයෙන්ම කළු සහ දුඹුරු පැහැ ගත්තේ, ජපානයට අයත් MV Wakashio නෞකාවේ තෙල් කාන්දුවක් හේතුවෙනි.
හොලිවුඩ් සිනමා සිත්තම් ගණනාවක් තිරගත කළ එම කලපුව අසල ගම්මානය සමුද්‍ර රක්ෂිත දෙකකට සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් Blue Bay සමුද්‍ර උද්‍යානය ද ආසන්නයේ පිහිටියකි.
වකාෂියෝ නෞකාව මගින් මේහබර්ග් ගම්මානය අවට ප්‍රදේශයට ඛණිජ තෙල් ටොන් 1000 ක් පමණ කාන්දුවන්නට ඇති බව විශ්වාස කෙරේ.
පරිසරවේදිනී ෂාමා සංදූයෙයා පවසන්නේ, එවක් පටන් මේ දක්වාම ප්‍රදේශයේ ධීවර සහ සංචාරක කර්මාන්තයේ නිරත බොහෝ දෙනාට සිය සුපුරුදු ආදායම අහිමි වී ඇති බවය.

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
මුහුදේ බර ලෝහ තිබුණේ නම් තෙල් කාන්දුව මගින් ඒවා දූෂණය වී ඇතිදැයි තවමත් පැහැදිලි නැති බව පවසන පරිසරවේදිනිය, “මේවා සමුද්‍ර ජීවීන්ගේ ශරීරවලට ඇතුළුවන නිසා ඒ ගැන නිරන්තර ඇගයීමක් කිරීම අත්‍යවශ්‍යයි,” යනුවෙන් ද කියා සිටියාය.
කෙසේ වුවත් ෆෝබ්ස් සඟරාව පවසන පරිදි, මුරුසි දූපතේ කලපුව අසල මත්ස්‍යයන් යොදාගෙන කරන ලද පර්යේෂණවලදී ඔවුන්ගේ ශරීරවල පිළිකා කාරක විෂ ද්‍රව්‍ය ඉහළ ප්‍රතිශතයක් ඇති බව සොයාගෙන තිබේ.
එමෙන්ම කලපුව අසල වෙසෙන 2500 ක පිරිසක් යොදාගෙන මොරිෂස් හි රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වන ලද සමීක්ෂණයකින් අනාවරණය වූ පරිදි, එයට සහභාගි වූ පිරිසෙන් 96% ක් සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බවත් ෆෝබ්ස් සඟරාව පවසයි.
හුස්ම ගැනීමේ අපහසුතා, නිදාගැනීමේ අපහසුතා සහ චර්ම රෝග ඒ අතර විය.
Wakashio තෙල් කාන්දුව හේතුවෙන් මොරිෂස් රාජ්‍යයේ ආර්ථිකය ඩොලර් බිලියන 2.1 කින් ක්ෂය විය.
“ශ්‍රී ලංකාවට බලපෑම ඊට වඩා ගොඩක් බරපතල වේවි කියල මම හිතනවා,” ෂාමා කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය,“REPORT A DEAD MARINE ANIMAL IN SRI LANKA”/FB

එබැවින් ඇය පවසන්නේ, ශ්‍රී ලංකාව මින් අනතුරුව හෝ සමුද්‍ර දූෂණය අවම කිරීම පිණිස නව නීති සහ විධිවිධාන සම්පාදනය කළ යුතු බවය. එමෙන්ම නාවික ප්‍රවාහන කර්මාන්තයේ “රැඩිකල් වෙනසක්” විය යුතු බව ද ෂාමා සංදූයෙයාගේ අදහසය.
“මොකද දැනට තියෙන නීතිවලින් මුහුදෙන් යැපෙන මිනිස්සු ආරක්ෂා වෙන්නේ නෑ. මේ නැවුවලින් ප්‍රවාහනය කරන තෙල් ප්‍රමාණය, ඔවුන් ගෙනයන දේවල්, මේ හැමදේම පාලනය කෙරෙන නීති අවශ්‍යයි.”
එහෙත් ශ්‍රී ලංකා Shippers Academy ප්‍රධානී රොහාන් මාසකෝරාළ පවසන්නේ, අවශ්‍යව තිබෙන්නේ අලුත් නීති නොව පවතින නීති නිසි පරිදි ක්‍රියාවට නැගීම බවය. එමෙන්ම ව්‍යසනය අවස්ථාවේ ඉක්මන් පියවර ගැනීමට අපොහොසත් වූ බවට ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරයි.
“මේක සම්බන්ධයෙන් පියවර ගන්න අපිට හැකියාව නෑ; ඒ සඳහා අපිට ඒකට ගැලපෙන ආම්පන්න වගේම ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි.”
එහෙත් ශ්‍රී ලංකාව තුළ “නීතියේ ආධිපත්‍යයේ සෑම අංගයක්ම නිසි පරිදි ක්‍රියාවට නැගෙනතුරු” සහ “නිසි නායකත්වයක් ලැබෙන තුරු,” එලෙස ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම දුෂ්කර කරුණක් බව ද රොහාන් මාසකෝරාළ පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය,THE PEARL PROTECTORS
මෙවැනි ව්‍යසනවලදී නැවු සමාගම්වලට සම්පූර්ණ වගකීම පැවරෙන පරිදි නව, දැඩි නීති විධිවිධාන අවශ්‍ය බව ග්‍රීන්පීස් සංවිධානය ද පවසයි.
එමෙන්ම ප්ලාස්ටික් පරිසරයට හානිකර ද්‍රව්‍යයක් ලෙසින් නම් කළ යුතු බව ද එම සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් පවසා තිබුණි.
මේ අතර නෞකා සමාගම පවසන්නේ, ව්‍යසනය සම්බන්ධයෙන් කටයුතු කිරීම ජාත්‍යන්තර සමාගමකට භාර දී ඇති බවය. එහි නියෝජිතයන් දැනටමත් ශ්‍රී ලංකාවට ගොස් ඇති බව ද සමාගම සඳහන් කරයි.
නීති සහ විධිවිධාන පමණක් නොව පරිසර ව්‍යසන සම්බන්ධයෙන් ධනවතුන්ගේ සහ බලවතුන්ගේ මෙන්ම මහ සයුරට පෙම් කරන සියලු දෙනාගේ ආකල්පවල දැවැන්ත වෙනසක් අවශ්‍ය බව මේ අතර පරිසරවේදී ග්රැහැම් මාෂල් (Graham Marshall) අවධාරණය කරයි.
“අපි මේ වගේ ව්‍යසනයකට පෙර සූදානමක් තියෙන්න ඕන,” ඔහු පැවසීය. “අනික මුහුද කියන්නේ අපේ කුණු බක්කිය නෙමෙයි, සමස්ත මනුෂ්‍ය වර්ගයාටම සෙවන දෙන තැනක්.”
“ඒ නිසා වෙන මොනවත්ම නැතිව, වැල්ලේ පුංචි පා සටහනක් විතරක් ඉතිරි කරල යන්න අපිට පුලුවන්ද?” BBC
Leave a Reply