උමග අවසානයේ ආලෝකයක් තිබේද?

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කොරෝනාවෛරසය වසංගතයක් ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු ලොව පුරා මිලියන 185 කට අධික ජනතාවකට වෛරසය ආසාදනය වී ඇති අතර මිලියන 4 ක් මිය ගොස් ඇත.

පසුගිය මාස 16 තුළ අපගේ ජීවිත හැඩගැස්සවූ සීමාවන් ලිහිල් කරමින් කොරෝනාවෛරසයට එරෙහි එන්නත මගින් ලෝකය යම් ආකාරයක සාමාන්‍ය තත්වයකට ගෙන යා හැකි බවට විශාල බලාපොරොත්තු පලවෙමින් තිබේ.

කෙසේවෙතත්, විද්‍යාඥයන් වැඩි වැඩියෙන් විශ්වාස කරන්නේ, කොරෝනාවෛරසය සදාකාලිකව ලොව තුළ රැඳී තිබෙනු ඇති බවය.

ජනවාරි මස දී ප්‍රමුඛ විද්‍යා සඟරාවක් වන ‘නේචර්’ ලොව පුරා සිටින ප්‍රතිශක්ති විද්‍යාඥයන්, වෛරස් විද්‍යාඥයන් සහ සෞඛ්‍ය විශේෂඥයන් සියයකට වැඩි පිරිසකගෙන් අසා සිටියේ Sars-Cov-2 ලෝකයෙන් තුරන් කළ හැකිද යන ප්‍රශ්නයයි.

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 90% ක් පමණ ‘නැත’ යැයි පැවසූහ. කොරෝනාවෛරසය ආවේණික විය හැකි බවට සාක්ෂි පවතින අතර එය ලෝකයේ තැනින් තැන දිගටම සංසරණය වනු ඇති බව ඔවුහු පැවසූහ.

මානව වර්ගයා රෝගවලට එරෙහිව සිදු කළ සටන්වල දී මෙය අසාමාන්‍ය දෙයක් නොවන නමුත් මෙම වෛරසය නිශ්චිත අභියෝග කීපයක් අප ඉදිරියේ තබා ඇත.

ඉතින් ඉදිරි වසර ගණනාව තුළ අපට කොවිඩ් සමග දිවි ගෙවීමට සිදුවනු ඇතැයි විද්‍යාවෙන් අනාවැකි කියන්නේ කෙසේද?

අපට කොවිඩ් -19 අවසන් කළ නොහැක්කේ ඇයි?

Historic picture of a child with small pox

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,වසූරිය – ලෝකයෙන් තුරන් කළ නමුත්, එසේ වසංගතයක් තුරන් කළ හැකි වන්නේ කලාතුරකිනි.

බෝවන රෝග තුරන් කිරීම සෑම දිනකම කොහෙත්ම සිදුවන දෙයක් නොවේ. ඇත්ත වශයෙන්ම, මේ දක්වා නිල වශයෙන් මුලිනුපුටා දැමූ බෝවන රෝග දෙක ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ වසූරිය සහ ගව වසංගතය (rinderpest) පමණි.

මානව ඉතිහාසය පුරා දීර්ඝ කාලයක් තිබූ වසංගතයක් වන වසූරිය 1980 ගණන්වලදී තුරන් කළ අතර, එයින් 20 වන සියවසේදී මිලියන 500 ක් පමණ පිරිසක් මරණයට පත්වූහ. එහි භූගෝලීය ව්‍යාප්තිය හා රෝගය වැළදුණු පිරිස කොවිඩ් -19 වෛරසය සමඟ සැසඳිය හැකිය.

වසූරිය තුරන් කිරීමට අද්විතීය සිද්ධීන් සමූහයක් උපකාරී වූ අතර, බොහෝ දුරට එය පාලනය වූයේ වසූරිය වෛරසය සම්ප්‍රේෂණය කිරීම අඩු කරන එන්නතක් නිපදවීමෙනි.

අවාසනාවකට මෙන්, මෙතෙක් නිපදවා ඇති කොවිඩ් 19 එන්නත් එකකින්වත් එවන් ප්‍රගතියක් අත් වී නොමැත.

“අද අප සතුව ඇති එන්නත් සමහර අවස්ථාවල ආසාදනයන් වැලැක්වීමක් කරන්නේ නැහැ. ඒවා ආසාදනය වෙනස් කර රෝගයේ බරපතල බව අඩු කරනවා. එන්නත ලබා ගන්නා පුද්ගලයින්ගෙන් තවමත් වෛරසය අන් අයට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්,” සෞඛ්‍ය හා නිවර්තන වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලන්ඩන් පාසලේ බෝවන රෝග වසංගතවේදය පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් හේමන් පැවසීය.

නැගෙනහිර ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ (එක්සත් රාජධානියේ) වෛද්‍ය විද්‍යා මහාචාර්ය පෝල් හන්ටර් තවදුරටත් මේ ගැන පැහැදිලි කළේය. අනාගතයේදී එන්නත් මගින් කොවිඩ් -19 බෝ වීම වලක්වනු නොලබන බව ඔහු විශ්වාස කරයි.

“කොවිඩ් කිසි විටෙකත් පහව යන්නේ නැහැ,” ඔහු පැවසීය.

“එන්නත ලබාගෙන තිබුණත් නැතත්, අපගේ ජීවිත කාලය පුරාම එය නැවත නැවත බෝවීම නොවැළැක්විය හැකියි”.

නව කොරෝනාවෛරසයත් සමග සිදුවන්නේ කුමක්ද?

Model of a Sars-CoV-2 virus

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,කොවිඩ් -19 ආවේණික රෝගයක් බවට පත්වනු ඇත

මහාචාර්ය ඩේවිඩ් හේමන් යනු කොවිඩ් -19 ආවේණික රෝගයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කරන බොහෝ විශේෂඥයන්ගෙන් කෙනෙකි. එයින් අදහස් වන්නේ එය ඉදිරි වසර ගණනාවක් ලෝක ජනගහනය තුළ තැනින් තැන දිගටම සංසරණය වනු ඇති බවය.

මෙය අළුත් දෙයක් නොවේ. උණ වෛරස් සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන අනෙක් කොරෝනාවෛරස් හතර ද ආවේණික රෝග වේ. සෑම වසරකම ලොව පුරා පුද්ගලයින් 290,000 ත් 650,000 ත් අතර සංඛ්‍යාවක් උණ ආශ්‍රිත රෝග නිසා මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරයි.

නමුත් මෙම රෝග ගණනය කළ හැකි මරණ සංඛ්‍යාවක් සමග කළමනාකරණය කළ හැකි මට්ටමක තිබේ.

කොවිඩ් -19 සම්බන්ධයෙන් ද මෙවැනි තත්වයක් විද්‍යාඥයන් අපේක්ෂා කරන අතර, දේශපාලනඥයන්ගේ බලාපොරොත්තුව ද එයයි.

මෙම තත්වය තුළ වෛරසය පැතිරී ගිය නමුත් එන්නත හා ස්වාභාවික ආසාදන මගින් මිනිසුන් තුළ එයට යම් ප්‍රතිශක්තියක් වර්ධනය කරයි. එබැවින් දරුණු ලෙස රෝගී වන පුද්ගලයන් අඩු වන අතර රෝහල් ගතවීම් හා මරණ අප මෙතෙක් දැක ඇති පරිමාණයෙන් සිදු නොවේ.

මෙහි ඇති ගැටළුව නම් මෙම වෛරසය සැබවින්ම එසේ හැසිරෙනු ඇත්දැයි අප තවමත් නොදැන සිටීමයි.

මහාචාර්ය ඩේවිඩ් හේමන් මෙම වෛරසය හඳුන්වන්නේ “ඉතා අස්ථායී එකක්” ලෙසය.

“මෙම වෛරසය මිනිස් සෛල තුළ ප්‍රතිවර්තනය වන විට එය වරින් වර වෙනස්වීමට භාජනය වෙනවා. මේ සමහර ප්‍රභේද ගැන සැලකිලිමත් වෙන්න වෙනවා.”

නමුත් විශේෂඥයන් පවසන්නේ කොවිඩ් -19 ගැන අද තිබෙනවාට වඩා අඩු සැලකිල්ලක් ඉදිරියේ දී දැක්විය හැකි බවය.

“වෙනස් වීමට භාජනය වීම මගින් හෝ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් එන්නත් ලබා ඇති නිසා වෛරසයේ බරපතලකම අඩු විය හැකියි.”

එයින් අදහස් කරන්නේ උණ රෝගයට මෙන් කොවිඩ්-19 සඳහාත් නැවත නැවතත් එන්නත් ලබා ගත යුතු බවද?

Vials of Covid-19 vaccine

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,යථාර්ථය නම්, කොවිඩ් -19 එන්නත්වලින් ප්‍රතිශක්තිය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි විද්‍යාඥයන් තවමත් නොදැන සිටීමය

වෛරසයකට “මෙහෙවරක්” ඇත, එනම් හැකි තරම් පිරිසකට ව්‍යාප්ත වීමය. එහි ප්‍රභේදයන් පොදු වන්නේ එබැවිනි.

“පරිණාමීය දෘෂ්ටි කෝණයකින් බැලුවොත්, වෛරසය වැඩි පිරිසකට පැතිරෙන පරිදි වෙනස් විය යුතුයි. සාර්ථක වෛරසයක් යනු වඩාත් පහසුවෙන් පැතිරෙනනක්,” යැයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය ට්රූඩි ලැන්ග් පැහැදිලි කරන්නීය.

උණ වෛරස්වල වෙනස්කම් කොතරම් සුලභද යත්, සෑම වසරකම සෞඛ්‍ය ආයතන ජාලයක් විසින් උණ වෛරස සඳහා ලබා දෙන එන්නත්වල සංයුතිය සමාලෝචනය කරනු ලැබේ. අපගේ ජීවිත කාලය පුරාම එන්නත් අවශ්‍ය වන පිටගැස්ම වැනි වෙනත් රෝග ද තිබේ.

අප දන්නා පරිදි, මේ වන විට කොරෝනාවෛරසයේ අවම වශයෙන් ප්‍රධාන ප්‍රභේද හතරක්වත් ඇත. අධික ලෙස බෝවන ඩෙල්ටා ද මෙයට ඇතුළත් වේ. එය ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගෙන ඇති අතර වර්තමානයේ යුරෝපය, ආසියාව සහ එක්සත් ජනපදය වැනි රටවල රෝගීන් වැඩිවීමට ප්‍රධාන හේතුව වී තිබේ.

දත්තවලට අනුව ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත් හොඳින් ක්‍රියාත්මක වේ. නිදසුනක් වශයෙන්, එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනයේ නවතම දත්තවලින් පෙනී යන්නේ පෙබරවාරි සිට ජුනි දක්වා කාලය තුළ ඩෙල්ටා ප්‍රභේදය වැළඳී එරට රෝහල්ගත වූ සියලුම ආසාදිතයන්ගෙන් 82% ක්ම එන්නත් ලබා නොගත් අය හෝ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් අය බවය.

එහෙත් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය පද්ධතිය ශීත සෘතුවට පෙර තුන්වන එන්නතක් හෝ “ප්‍රතිශක්තිය ඉහළ නංවන එන්නතක්” මිලියන 30 කට අධික ජනතාවකට ලබා දීමට සැලසුම් කිරීම ආරම්භ කර තිබේ.

එක්සත් ජනපදයේ, ජාතික සෞඛ්‍ය ආයතන සම්පූර්ණ එන්නත ලබා ගත් පුද්ගලයින් යොදාගෙන සායනික අත්හදා බැලීමක් ආරම්භ කර ඇති අතර, එහි දී ප්‍රතිශක්තිය ඉහළ නංවන එන්නත් මාත්‍රාවකින් ප්‍රතිදේහ වැඩි කරයිද සහ ආරක්ෂාව දීර්ඝ කරයිද යන්න අධ්‍යයනය කරයි.

යථාර්ථය නම්, කොවිඩ් -19 එන්නත්වලින් ප්‍රතිශක්තිය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි විද්‍යාඥයන් තවමත් නොදැන සිටීමය.

මෙයට හේතුව මෙම එන්නත් තරමක් අළුත් වන අතර, පවතින විවිධ වර්ගයේ එන්නත්වලට ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය පර්යේෂකයන් තවමත් විශ්ලේෂණය කරමින් සිටීමය.

“අපට තවත් එන්නත් ලබා ගැනීමට අවශ්‍ය දැයි කිසිවෙකුත් තවමත් දන්නේ නැහැ,” මහාචාර්ය ඩේවිඩ් හේමන් පවසයි.

“එය උණ රෝගයට වඩා වෙනස් වෛරසයක් වන නිසා එන්නත් ගැන දැනට මිනිසුන්ගේ මනසට දැමීම පවා වැරදියි.”

‘ලොක්ඩවුන්’ සාමාන්‍ය සිදුවීමක් බවට පත්විය හැකිද?

Two Bangladeshi children hold food parcels given away during the country's most recent lockdown

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,පසුගිය මාස කීපය තුළ ලොව පුරා රටවල නගර වශයෙන් සේම මුළු රටටම බලපාන පරිදි සීමා පැනවීම් සිදු කෙරෙනු අපි දැක ඇත්තෙමු

ආසාදන හා රෝහල්ගත වීමේ අනුපාතය වැඩිවීම නිසා රටවල් සහ කලාප කීපයකට සංචාරක හා සංචරණ සීමා නැවත පැනවීමට සිදුවිය.

මෙම පියවර රෝගය පැතිරීමේ වේගය අඩු කිරීමට සහ සෞඛ්‍ය පද්ධතීන්ට ඇති පීඩනය ලිහිල් කිරීමට උපකාරී වූ නමුත්, එය ඉහළ යන විරැකියාව ඇතුළු ආර්ථික හානිවලට ද හේතු වී තිබේ.

ලොක්ඩවුන්, ආවේණික තත්වයක එක් කොටසක් විය හැකිද? සෑම රටකම වෛරසය වැළඳුණු රෝගීන් රෝහල් ගතවීම අවම කිරීම සඳහා සිදු කෙරෙන එන්නත් කිරීමේ වැඩසටහන්වල සාර්ථකත්වය මත එය රඳා පවතිනු ඇතැයි විශේෂඥයෝ පවසති.

පසුගිය මාස කීපය තුළ ලොව පුරා රටවල නගර වශයෙන් සේම මුළු රටටම බලපාන පරිදි සීමා පැනවීම් සිදු කෙරෙනු අපි දැක ඇත්තෙමු. ඔස්ට්‍රේලියාවේ නගර හතක් වසා දමා ඇති අතර, බංග්ලාදේශය පුරා සීමාවන් පැනවීමට ද තීරණය කළේය.

“හැකි තාක් දුරට, රෝග පැතිරීම පාලනයේ දී රජයන් විසින් භාවිතා කළ යුතු අත්‍යවශ්‍ය මෙවලම් කට්ටලයේ කොටසක් බවට ලොක්ඩවුන් පත්වනු ඇත,” හොංකොං සිටි විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සහකාර මහාචාර්ය නිකලස් තෝමස් බ්ලූම්බර්ග් පුවත් ආයතනය වෙත පැවසීය.

මම තවමත් මුහුණු ආවරණයක් පැළඳිය යුතුද?

A woman and a child walk the promenade in Long Beach, California while a discarded face mask can be seen on the floor

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

මුහුණු ආවරණ අනිවාර්යයෙන් භාවිතා කිරීම වැනි වසංගතය තුළ ගත් පියවර කීපයක් වඩා මතභේදාත්මක වී ඇත. එය 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී දේශපාලන ‘ඇමක්’ බවට පවා පත්විය.

නමුත් එන්නත් කිරීමේ අනුපාතය ඉහළ මට්ටමක පවතින ප්‍රදේශවල පවා කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස විද්‍යාඥයෝ එයට සහය පළකරති.

“වෛරසය ඇවිලෙන සෑම අවස්ථාවකම අපට දිගටම ලොක්ඩවුන් කළ නොහැකි බව පැහැදිලියි,” කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ චර්යාත්මක විද්‍යාඥ ක්‍රිස්ටිනා ග්‍රෙවර්ට් පැවසීය.

“නමුත් අසනීප යැයි හැඟෙන පුද්ගලයින් පොදු ප්‍රවාහන සේවයෙන් ඈත් වී නිවසේ සිට වැඩ කරන ලෙස හෝ අවම වශයෙන් වෙනත් පුද්ගලයින් වටා සිටිය දී මුහුණු ආවරණයක් පැළඳිය යුතු යැයි දිගින් දිගටම නිර්දේශ කිරීම සාධාරණ බව පෙනෙනවා,” ඇය තවදුරටත් පැවසුවාය.

සමහර ආසියානු රටවල මුහුණු ආවරණ භාවිතය බහුලව දක්නට ලැබුණත්, ලෝකයේ වෙනත් රටවල එවන් තත්වයක් නොමැත.

කෙසේනමුත්, වර්තමානයේ මේ සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණවලින් පෙනී යන්නේ අනාගතය කිසිසේත්ම දිරිගන්වන සුළු නොවන බවය. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදය තුළ සම්පූර්ණයෙන් එන්නත් කර ඇති පුද්ගලයන් සඳහා එළිමහනේ මුහුණු ආවරණ අනිවාර්යයෙන් භාවිතා කිරීම අප්‍රේල් මාසයේදී ඉවත් කරන ලද අතර, එවන් පුද්ගලයන් මුහුණු ආවරණයක් පැළඳ සිටීම 74% සිට 63% දක්වා පහත වැටී වැටුණු බව Axios-Ipsos (ඇක්සියෝස්-ඉප්සෝස්) කොරෝනාවෛරස් දර්ශකයේ සඳහන් වේ.

එන්නත් නොකරන ලද පුද්ගලයින් අතර ද මුහුණු ආවරණ පැළඳීම අඩු වී ඇති බව සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

ආවරණය වී ඇති ස්ථානවල මුහුණු ආවරණ භාවිත කිරීම තම මහජන සෞඛ්‍ය ව්‍යාපාරයේ කොටසක් ලෙස රජයන් විසින් අනුමත කළ යුතු යැයි ඇතැමුන් තර්ක කරන අතර, තවත් සමහරු එය පුද්ගලික කැමැත්තක් බවට පත් වනු ඇතැයි විශ්වාස කරති.

තවත් සමහරු ආචාරශීලීත්වයේ සලකුණක් ලෙස විශේෂයෙන් පොදු ප්‍රවාහනයේදී හෝ ජනාකීර්ණ ස්ථානවල මුහුණු ආවරණ පළදිනු ඇත.

ජාත්‍යන්තර සංචාර ගැන කුමක් කිව හැකිද?

EU Digital Covid certificate on a phone screen

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,යුරෝපා රටවලට නිකුත් කරන මෙවන් ‘එන්නත් ගමන් බලපත්‍රයක්’ ලොව අනෙක් රටවල සංචාරය කිරීමටත් අවශ්‍ය වෙයි ද?

අත්‍යවශ්‍ය නොවන සංචාර සඳහා දේශසීමා වසා දැමීමෙන් ඇති වුණු ආර්ථික බිඳවැටීම සහ ඔවුන්ගේ ජනගහනය වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතා අතර වර්තමාන ආණ්ඩු අතරමං වී සිටිති.

විවිධ රටවලට විවිධ නීති රීති ඇති අතර දුර්වල ලෙස සම්බන්ධීකරණය කරන ලද ගෝලීය උත්සාහය මහාචාර්ය ඩේවිඩ් හේමන් වැනි ප්‍රවීණයන්ගේ විවේචනයට ලක් වී තිබේ.

“එන්නත් අසමාන ලෙස බෙදා හැරීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ‘එන්නත් කළ බව හැඟවෙන විදේශ ගමන් බලපත්‍රයක්’ නිර්දේශ කරන්නේ නැති වෙයි. නමුත් සමහර රටවල් ඒවා භාවිතා කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා,” ඔහු පවසයි.

“එන්නත ලබා ගැනීමට නොහැකි වූ නිසා හෝ එන්නත ලබා නොදීමට හේතුවක් ඇති නිසා මිනිසුන්ට සංචාරය කළ නොහැකි නම් එන්නත් සහතිකයක් ලබා ගැනීම සදාචාරාත්මක වන්නේ නැහැ.”

එසේ වුවද, යුරෝපා සංගමය මේ වන විටත් ඩිජිටල් කොවිඩ් සහතිකය නිකුත් කර ඇති අතර, පුරවැසියන් සහ පදිංචිකරුවන් එන්නත් ලබා ගෙන තිබේ නම් හෝ වලංගු කොවිඩ් පරීක්ෂණයකින් වෛරසය නොමැති බව තහවුරු වී ඇත්නම් හෝ මෑතකදී රෝගයෙන් සුවය ලබා තිබේ නම් සීමාවන්ට යටත් නොවී මහාද්වීපය තුළ සංචාරය කිරීමට ඉඩ සලසා තිබේ.

මෙම එන්නත් විදේශ ගමන් බලපත්‍රය යුරෝපා සංගමයේ සාමාජිකයින් 27 දෙනා මෙන්ම අයිස්ලන්තය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය විසින් ද අනුමත කර තිබේ.

එහෙත් සෙසු රටවල් ඔවුන්ගේ දේශසීමා හරහා වෙනත් රටවලින් ගමන් කිරීම සම්බන්ධයෙන් කෙලෙස කටයුතු කරනු ඇතිද යන්න තවමත් පැහැදිලි නැත.

2020 මාර්තු මාසයේ සිට ජාත්‍යන්තර සංචාරයන් පහත වැටී ඇති අතර, එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ ආයතනය වන UNCTAD පවසන පරිදි වසංගතය නිසා 2021 දී අහිමි වන සංචාරක ආදායම ඩොලර් ට්‍රිලියන 1.4 ක් පමණ විය හැකිය. මෙයින් වැඩි බරක් දරන්නේ අඩු ආදායම්ලාභී රටවල්ය.

අපට කවදා “එන්නත් ප්‍රජාතන්ත්‍රවාදය” ලැබේද?

A woman being vaccinated in rural Kenya

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,“අපගේ ලෝකය අසාර්ථක වෙමින් පවතිනවා. ගෝලීය ප්‍රජාව ලෙස අප අසමත් වෙලා තිබෙනවා”

ජූලි 5 වන විටත් කොවිඩ් -19 ට එරෙහිව ලොව පුරා එන්නත් ලබාගෙන ඇත්තේ බිලියනයකට වඩා සුළු පිරිසක් පමණි. එය ගෝලීය ජනගහනයෙන් 15% කටත් වඩා අවම ගණනකි.

“අපගේ ලෝකය අසාර්ථක වෙමින් පවතිනවා. ගෝලීය ප්‍රජාව ලෙස අප අසමත් වෙලා තිබෙනවා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මානුෂීය ගැටළුව හැරුණු විට, කොවිඩ් -19 ප්‍රභේදයන් වළක්වාලීමට “එන්නත් ප්‍රජාතන්ත්‍රවාදය ද” වැදගත් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රධානීන් මෑතකදී විවෘත ලිපියක් මගින් අනතුරු ඇඟවූයේ අඩු ආදායම්ලාභී රටවල එන්නත් හිඟය නව ප්‍රභේදයන් බිහිවීමට හේතුවක් වන බවය.

“වැඩි වීගෙන යන, වසංගතයන් දෙකක් වර්ධනය වෙමින් පවතිනවා. අසමාන එන්නත් බෙදා හැරීම මඟින් මිලියන ගණනක් දෙනා වෛරසයට ගොදුරු විය හැකි වෙනවා පමණක් නොව, මාරාන්තික ප්‍රභේදයන් ලොව පුරා මතුවීමටත්, ඒවා පැතිරීමටත් ඉඩ සලසනවා” යනුවෙන් ඔවුන් ලියා තිබිණි.

“ඉතා ඉහළ එන්නත් කිරීමේ වැඩසටහන් ඇති රටවලට පවා දැඩි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග නැවත හඳුන්වා දීමට සිදුව තිබෙනවා. මෙය මෙසේ විය යුතු නැහැ.”

මෑතක දී පැවති G7 සමුළුවේදී ලෝකයේ විශාලතම දියුණු ආර්ථිකයන් අයත් රටවල් හතේ (කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය) නායකයෝ එන්නත් මාත්‍රා බිලියනයක් අඩු ආදායම්ලාභී රටවලට යැවීමට පොරොන්දු වූහ.

මෙය ලෝක දුගී ජනගහනය ආවරණය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවට අනුව අවශ්‍ය මාත්‍රා බිලියන 11 ට වඩා බෙහෙවින් අඩුය. අපේක්ෂා කළ හැකි අනාගත කාලයක් තුළ වෛරසය සංසරණය වන්නේ නම්, සෑම කෙනෙකුටම එන්නත ලබා දීම ප්‍රතිශක්තිය පුළුල් කිරීමේ ප්‍රධාන සාධකය වේ.

“ලොව පුරා එන්නත් සමානව බෙදා හැරීම සහතික කිරීම සඳහා මහජන සෞඛ්‍ය හා මානුෂීය වගකීමක් තිබෙනවා,” මහාචාර්ය ඩේවිඩ් හේමන් පැවසීය.

සතුන්ගෙන් තවමත් අවදානමක් තිබේද?

Mink in a cage

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,මින්ක්ගෙන් මිනිසුන්ට වෛරසය සම්ප්‍රේෂණය වන බවට ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් සාක්ෂි සොයාගෙන ඇත.

Sars-CoV-2 ට එරෙහි සටන වෛරසය සතුන් තුළ හැසිරෙන ආකාරය මත ද රඳා පවතී. මෙම කොරෝනාවෛරසය වවුලන්ගෙන් ආරම්භ වී, අතරමැදි සතෙකු හරහා මිනිසුන්ට සම්ප්‍රේෂණය වූවා යැයි අදහසට අදටත් විද්‍යාඥයෝ සහය පළ කරති.

අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ එය බළලුන්, හාවන් සහ හැම්ස්ටර් යන සතුන්ට ආසාදනය විය හැකි අතර විශේෂයෙන් මින්ක් (මුගටි වර්ගයේ සතුන්) තුළ බෝවන බවය. මින්ක්ගෙන් මිනිසුන්ට වෛරසය සම්ප්‍රේෂණය වන බවට ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් සාක්ෂි සොයාගෙන ඇත.

විශේෂඥයන් පවසන්නේ සොබාදහම තුළ වෛරසය බෝ වෙන සතුන් සිටින තාක් කල් ඔවුන්ගෙන් මිනිසුන්ටද ආසාදනය වීමේ අවදානමක් පවතින බවය.

“රෝග එළියේ තිබෙනවා. අවස්ථාවක් ලැබුණු විගස ඒවා මතුවෙනවා,” ස්මිත්සෝනියානු සංරක්ෂණ ජීව විද්‍යා ආයතනයේ ගෝලීය සෞඛ්‍ය වැඩසටහනට සම්බන්ධ වනජීවී පශු වෛද්‍යවරයෙකු වන ඩෝන් සිමර්මන් බීබීසී සේවයට පැවසීය. BBC