
ශ්‍රී ලංකාවේ කොවිඩ්: “පුළුවන් තරම් පරිස්සම් වෙන්න. පවුලේ හැමෝම පරිස්සම් කරගන්න”
“දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි. මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව…”
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු පළාත් ගණනාවක ප්‍රධාන රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී යමින් පවතී.
සිය දෙමව්පියන් රෝහල් වෙත රැගෙන පැමිණි දරුවන් සහ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද පවතින තත්ත්වය දැක්වෙන ඡායාරූප සමාජ ජාල තුළ පළ කරමින් සිටිති.
පවතින “භයානක තත්ත්වය” සැලකිල්ලට ගෙන හැකිතාක් ප්‍රවේශම් වන ලෙස එසේ සිය අත්දැකීම් බෙදා ගනිමින් ඇතැමෙක් ජනතාවගෙන් ඉල්ලා සිටිති.
ඒ අතරින් සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක වන තිලක්ෂනි මධුවන්ති සිය දෙමව්පියන් පිළිබඳ ඇයගේ ෆේස්බුක් පිටුවේ තැබූ ඉතා සංවේදී සටහනක් සහ ඡායාරූප මේ වන විට විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.
කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුවේ පවතින තත්ත්වය විස්තර කරමින් ඇය එම සටහන ආරම්භ කර ඇත්තේ “ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා…” යනුවෙනි.
“මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.
වාට්ටුවේ එක් ඇඳක රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.
ඔවුන් අසාධ්‍ය රෝගීන්.
වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.
අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.
ඉතිරි සියලු ආසාදිතයින් (සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.
තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.
මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.
අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.
සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.
මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.
ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.
කාර්ය මණ්ඩලය සීමිතයි.
ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.
මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.
මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ. මීට වඩා අසරණකමකුත් නෑ. හෙට මමත් ආසාදිතයෙකු වෙයි.
මට කියන්න තියෙන්නෙ එකම දෙයයි. කොරෝනා සුළුවෙන් තකන්න එපා.
පුළුවන් තරම් පරිස්සම් වෙන්න.
පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.
ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා.
පරිස්සම් වෙන්න.. හොඳටම පරිස්සම් වෙන්න…” යනුවෙන් ඇය වැඩිදුරටත් සටහන් කර තිබිණි.

කොවිඩ් වසංගතය හේතුවෙන් බදාදා (අගෝස්තු 04) මරණ 82 ක් වාර්තා වූ අතර එය මෙතෙක් දිනක වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.
බදාදා හඳුනා ගනු ලැබ ඇති කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2,543 කි. මේ වන විට රෝහල් ගතව සිටින සමස්ථ රෝගීන් සංඛ්‍යාව 29,586 කි.
මේ අතර රත්නපුර සහ කරාපිටිය ශික්ෂණ රෝහල් තුළ හදිසි ආපදා තත්ත්වයක් නිවේදනය කරනු ලැබ ඇත.
කොළඹ සියලුම රජයේ සහ පුද්ගලික රෝහල් උපරිම ධාරිතාවකට ළඟා වීම නිසා කොරෝනා මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන අගනුවර ප්‍රධාන සංචාරක හෝටලයක ‘ලොබියේ’ ප්‍රතිකාර ලබා ගන්නා බව දැක්වෙන ඡායාරූපයක් බදාදා සමාජ මාධ් ඔස්සේ හුවමාරු විය.

ඔක්සිජන් සැපයුම
බොහෝ ප්‍රදේශයන්හි ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම හමුවේ රෝගීන් සංඛ්‍යාව සහ ඔක්සිජන් මත ජීවිතය රඳා පවතින රෝගීන් සංඛ්‍යාව වඩාත් භයානක ලෙස ඉහළ යාමත් සමග ප්‍රතිකාර ලබා දීමේ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
ඔක්සිජන් ඉල්ලුම වැඩිවීමත් සමඟම එහි සැපයුම නිසියාකාරව පවත්වාගෙන යාමේ ගැටලුවට ඉදිරි දින කිහිපයේදී මුහුණ පෑමට සිදුවිය හැකි යයි එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එවැනි තත්ත්වයක් තුළ ඔක්සිජන් හිඟය හෝ වඩාත් වැදගත් ලෙස ඇඳන් වෙත ඔක්සිජන් සැපයුම ලබා දීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු නිසා රෝගීන් මරණයට පත් වීමේ අවදානමක් ඇති බවට ඔවුහු අනතුරු අඟවති.
“ඔක්සිජන් අර්බුදය රජයේ සහ පුද්ගලික යන අංශ දෙකටම එකසේ අදාළ වනු ඇත.” යනුවෙන් ඉහත කී නිවේදනයේ දැක්වේ.
මෙවැනි පසුබිමක් තුළ කොවිඩ් සීමා තවදුරටත් ලිහිල් කිරීම “ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි” යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.
රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන්
මේ අතර දැනට වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙන් තවත් හතර පස් ගුණයක් සමාජයේ සිටින බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.
එහි සභාපති රවී කුමුදේශ් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කරන පරීක්ෂණ ක්‍රමවේදයන්ට අනුව දැනට 80% ඉක්මවා සිටින රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් හඳුනා ගත නොහැකි බවය.
“මේ වැඩි වෙන්නේ තමන් විසින්ම ලෙඩේ හොයාගෙන රෝහල් වෙත එන සංඛ්‍යාව මිස හඹා ගිහින් සොයා ගනු ලබන හෝ අහඹු පරීක්ෂණ මගින් සොයා ගනු ලබන රෝගීන් නොවේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රජයේ ප්‍රතිචාරය

මේ අතර කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කළත් රට ලොක්ඩවුන් කිරීමට රජය මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
“මොකද ලොක්ඩවුන් එක හරහා ජනතාවට විශාල ආර්ථික පීඩනයක්, විශේෂයෙන්ම වක්‍ර රැකියා කරන පුද්ගලයන්ට විශාල නරක බලපෑමක් ඇති කරන නිසා දැන්ම ලොක්ඩවුන් එකකට යන එකක් නැහැ.”
රජයේ රෝහල්වල පහසුකම් ඉහළ නංවමින් එන්නත් ක්‍රියාවලිය වේගවත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය බවත් අමාත්‍යවරිය BBC සිංහල සේවය වෙත සඳහන් කළාය.
“වැඩි සංඛ්‍යාවක් රෝහල් ගත වෙලා ඉන්නවා. ඒත් සමහර අයට ඇඳන් ලබා දීමේ හැකියාවක් නෑ. රෝහල් පද්ධතියේ තදබදයක් තියෙනවා.”
කලින් සතියට සාපේක්ෂව රෝගීන්ගේ සහ මරණවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව ද ඇය පැවසීය.
“කලින් සතියට වඩා ගිය සතියේ රෝගීන්ගේ 26% ක පමණ වර්ධනයකුත් මරණ 20% පමණත් වැඩි වී තියෙනවා,”
එබැවින් බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් නිවෙස්වල තබා වෛද්‍ය උපදෙස් ලබා දීමට රජය තීන්දු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
මතු වී තිබෙන තත්වය ගැන බීබීසී සිංහල සේවය කළ විමසීමක දී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ බ්‍රහස්පතින්දා උදෑසන පැවැත්වෙන කොවිඩ් මෙහෙයුම් කමිටුවේ විශේෂ සාකච්ඡාවකදී නවතම වාතාවරණය පිළිබඳව සාකච්ඡා කොට අවශ්‍ය තීන්දුවලට එළඹෙනු ඇති බවය. BBC
Leave a Reply