මහර බන්ධනාගාරයේ රැදවියන් ඉල්ලා සිටියේ මාරාන්තික කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාපත්වීමේ තත්ත්වයක් තුළ සිය සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරන ලෙසයි. විශේෂයෙන් අහාර සහ බෙහෙත් නිසි පරිදි නොලැබීම නිසා මනුෂයින් ලෙස ඔවුන්ට වූ අසාධාරණයට එරෙහිවයි. විශේෂයෙන් බන්ධනාගාරය තුළ කොරෝනා වෛරසය බෝවීම වැලැක්වීම සදහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. නමුත් පාලකයින් ඔවුන්ගේ ඒ සාධාරණ ඉල්ලීමට පිළිතුරු ලෙස ලබා දී ඇත්තේ රැදවියන් 9 දෙනෙක් ඝාතනය කරමින් සහ 100කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් ය.

මේ නොවැම්බරයේ සේම, 2012 නොවැම්බරයේත් වැළිකඩ බන්ධනාගාරය තුළදී රැදවියන් 27 දෙනෙක් ඝාතනය කර විශාල පිරිසකට තුවාල සිදුකලේය. එවිටත් ලංකාවේ පාලක රෙජීමය වූයේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවයි. එකල එම ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කලේ වත්මන් ජනාධිපති වන ගෝඨාබය රාජපක්ෂ වීම අහම්බයක්ද?. වැලිකඩ සිදුකල ඝාතනයටත් චෝදනා එල්ල වූයේ පැවති පාලකයන්ටය. මහර සිදුකල ඝාතනයන්ට ද චෝදනා එල්ල වෙමින් ඇත්තේ පවතින ආණ්ඩුවට සහ බන්ධනාගාර නිළධාරින් වෙතය.

”බන්ධනාගාර රැඳවියන් තමන්ව කොවිඩ් රෝගයෙන් බේරලා දෙන්න කියා මේ අවස්ථාවේ ජනාධිපතිගෙන් ඉල්ලා සිටිද්දී වගකිවයුතු ආණ්ඩුවක් ලෙස, රජයක් ලෙස පියවර නොගෙන රැඳවියන් ඝාතනය කරන තැනට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව සමාජය දැනුවත් කිරීමට තම සංවිධානය සුදානම් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.” (උපුටා ගැනීම අයිතිය වෙබ් අඩවිය)

මහර බන්ධනාගාරය සහ නිමලරූබන්

2009 මැයි මස යුද්ධය අවසන් කළ බව ආණ්ඩුව ප්‍රකාශ කර මාස 7ක් නික්ම යාමට මත්තෙන් එනම්, 2009 නොවැම්බරයේ 05වෙනිදා මිත‍ සමග යතුරු පැදියක ගමන් කරමින් සිටි ගනේෂන් නිමල්රූබන් වව්නියාව, වේප්පංකුලම් ප‍්‍රදේශයේදී සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගක් අතර අවුරුදු 03ක් තිස්සේ වව්නියාව බන්ධනාගාරයේ රඳවා තබා ගත්තේය. 2012 ජූනි 29 බන්ධනාගාරයේ ඇතිවූ කලබලකාරී තත්ත්වයකින් පසු නිමලරෑබන්ව අනුරාධපුර බන්ධනාගාරයට මාරැකර යැවු බවත්, ඉන්පසු අනුරාධපුරයෙන්, මහර බන්ධනාගාරයට යවා තිබූ බවත් නිමලරෑබන්ගේ දෙමව්පියන් ප්‍රකාශ කර සිටි අතර පසුව ජූලි 07 වනදා රාගම රෝහලට රැගෙන ගොස් සිය පුතාගේ මිය ගිය සිරැර පෙන් වූ බවත් නිමලරෑබන්ගේ දෙමාපියන් පවසා සිටියේ 2012 ජූලි 09 වනදාය. මෙම සිදුවීම පිළිබදව නිමලරූබන්ගේ දෙමවුපියන් එදවස විස්තර කළේ මෙසේ යි. කියවන්න. එම මාරාන්තික පහරකැම්වලට ලක්වන්නට නිමලරූබන්ට සිදුවූයේ ත් මහර බන්ධනාගාරය තුළය. නමුත් මේ ඝාතනයන් පිළිබද ව දකුණේ බහුතරයක් සංවේදී වූයේ නැත. ඒ නිමළරූබන් දෙමළ වීම නිසාය. දැන් නැවතත් එම මහර ම, මාරකයක් ලෙස 9 දෙනෙක් ඝාතනය කර තිබේ.

බන්ධනාගාර රැදවියන් සහ සමාජ අදහස

1983 වැළිකඩ ඝාතනයේ සිට 2020 මහර ඝාතනය දක්වා බන්ධනාගාර තුළ දී රැදවියන් ඝාතනය කිරීම වැලැක්වීමට ලංකාවේ මෙතෙක් බිහි වූ පාලකයන් සමත් වී නැත. එය එසේ වූයේ ඇයි? එය තවදුරටත් එසේ වන්නේ ඇයි? ලාංකීය සමාජය විසින් අසාගත යුතු ප්‍රශ්ණ දෙකකි. විශේෂයෙන් ‘සිරකරුවන්’ පිළිබද ලාංකීය සමාජය තුළ තිබෙන්නේ ඉතාමත් ගෝත්‍රික අදහස්ය. 83 දී දෙමළ සිරකරුවන් ඝාතනය කිරීමේදී, දකුණේ සමාජයේ බහුතරයක් දෙනා කල්පනා කලේ ‘ඔවුන් දෙමළ නේ…’ ‘කොටි නෙ..’ වැනි ජාතිවාදී අර්ථයෙනි. 2012 නොවැම්බරයේ වැලිකඩ රැදවියන් ඝාතනය කරන විට බහුතරයක් දෙනා එය සාධාරණියකරනය කලේ ‘ඔවුන් කඩු කාරයෝ’, ‘පාතාල නායකයෝ’ වැනි යෙදුම්වලිනි. මහර සිදුවීමේත් තත්ත්වය එසේමය. මෙය සරලව තේරුම් ගන්නේ නම්, ‘සිරකරුවෝ මනුෂ්‍යයෝ ය’ යන්න බන්ධනාගාරයේ බිත්තියේ ලියා ඇති වුවත්, සියලුම රැදවියන් යනු වැරදිකරුවන්, ඉතාමත් පහත් කොටසක්, සමාජයෙන් ඇතුගා දැමිය යුතු කොටසක් වැනි අර්ථයෙන් ලාංකික බහුතරයක් දෙනා විසින් අර්ථගන්වනු ලබයි. මේ සමාජ මතය මෙවැනි ම්ලේච්ඡ ඝාතනයන්ට අවශ්‍ය මූලික පස සකස් කිරීමට අවශ්‍ය මනෝබාවය සමාජය විසින්ම ලබා දී තිබෙනවා. කිසිදු බියකින් හෝ සැකයකින් තොරව බන්ධනාගාර රැදවියන් ව ඝාතනය කිරීම දක්වා එය සිදුකිරීමට අවශ්‍ය මානසික පෙළඹුම සහ ධෛර්ය පාලකයන්ට ලබා දෙනවා. රැදවියන්ට සැලකීම, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අයිතිවාසිකම් ගැන කතා කිරීම පවා ලාංකීය සමාජයේ බහුතරයක් දෙනා විසින් සලකනු ලබන්නේ අවශ්‍ය නැති දෙයක් ලෙසයි. සමාජයේ පවතින මෙවැනි දෘෂ්ඨිවාදයන් නිසාම සමාජය විසින් ‘පහත්’ යැයි සලකන ඕනෑම සමාජ කොටසක් ඝාතනය කිරීම ට පාලකයන්ට ඉතාමත් පහසු පරිසරයක් නිර්මාණය කර දී තිබීම ඉතාමත් සිහි කල්පනාවෙන් අප වටහා ගත යුතුය. සමාජය පසුපසට ගෙන යනු ලබන මෙවැනි දෘෂ්ඨිවාදයන් සමාජය තුළ පවතින තාක් වැලිකඩ, මහර සිදුකලා වැනි ම්ලේච්ඡ තත්ත්වයන් ඇතිවීම වැලැක්විය නොහැකිය. මක් නිසාද යත් මෙවැනි ඝාතනයන්ගෙන් සමස්ථ සමාජයම කම්පනයට පත් වන්නේ නැති බැවිනි. අවම වශයෙන් එහි කම්පනය ඝාතනය වූවන්ගේ පවුල් සහ මිනිස් ජීවිත සහ අයිතිවාසිකම් පිළිබද වටිනාකම් අර්ථයෙන් කල්පනා කරන සමාජ කොටස්වලට හැර අන්අයට දැනෙන්නේ නැති නිසාය.

එසේම, මෙවැනි අගතිගාමී දෘෂ්ඨිවාදයන්ගෙන් පන්නරය ලබන පාලකයෙක්ට බන්ධනාගාර රැදවියන් ඝාතනය කිරීම ම්ලේච්ඡ වැඩක් ලෙස දැනෙන්නේ නැත. එවැනි පාලකයෙක්ට සාමකාමී විරෝධතාකරුවන්ට පහර දී මූනිස්සම් පපු කුහර තුළ ට යැවීම අපරාධයක් සේ දැනෙන්නේ නැත. එවැනි පාලකයෙක්ට බොන්න වතුර ඉල්ලා කෑ මොර දෙන මිනිසුන්ට වෙඩි තැබීමට පෙර දෙවරක් සිතන්නේ නැත. එවැනි පාලකයෙක්ට ‘ජීවිතය’ ඉල්ලා යදින මිනිසුන්ගේ හඩ ඇසෙන්නේ නැත.

එබැවින්, තුවක්කුවේ කොකා ගස්සන මිනිසාගේ සිට ඉහළට, එනම් කොකා ගැස්සීමට නියෝග දෙන පුද්ගලයාටත්, එම පුද්ගලයා ව පෝෂණය කරන, හදා වඩා ගන්නා, ලොකුම පුටුවල යැවීම සදහා ඉන්ධන සපයන සමාජ දෘෂ්ඨිවාදයත් එක ලෙසින් මෙවැනි ම්ලේච්ඡත්වයන් වලට වගකිව යුතුයි. එසේම මෙම තත්ත්වය පරාජය කළ හැකි වන්නේ එවැනි අශිලාචාර පාලකයන් මෙන්ම, එම පාලකයන්ව ඔසවා තබන ගෝත්‍රික සමාජ අදහස් මෙන්ම, එවැනි දෘෂ්ඨිවාදයන් ද එක මිටට ගෙන පරාජය කිරීමෙන් පමණි.

එසේම,

රටක ශිෂ්ටත්වය නිරූපනය වන තවත් එක් කැඩපතක් වන්නේ එම රටේ බන්ධනාගා‍ර ගත කර සිටින රැදවියන්ගේ සුභසාධනය සහ ආරක්ෂාව කොතෙක් දුරට එම සමාජය විසින් ඉහළින්ම සලකනවාද යන්න මතය.

බන්ධනාගාර රැදවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට බැරි කිසිදු පාලකයෙක්ට එම රට සෞභාග්‍යය කරා ගෙන යාමට නොහැකිය.

මෙවැනි ශිලාචාර සීතීම් ලංකා සමාජයට අවශ්‍යද?