“එන්නත ගැහුවට පස්සේ දෙන පුළුන් කෑල්ල පවා එතනම බිම දාලා යනවා. අපිටම දොස් කියලා වැඩක් නැහැ. එන්නත ගහන්න එන මිනිස්සුන්ගෙත් මීට වඩා විනයක් තියෙන්න ඕනේ,” කොළඹ එන්නත් මධ්‍යස්ථානක සේවයේ නිරත වෛද්‍යවරියක බීබීසී සිංහල සේවයට පැවසීය.

ශ්‍රී ලංකාව තුළ එන්නත් මධ්‍යස්ථානවලින් ඇසෙන විවිධ කතා බොහෝමයි. එන්නත් ලබාගැනීමට පැමිණෙන ජනතාව සේම, සෞඛ්‍ය සේවකයන් ද විවිධ බාධක, ගැටළුවලට මුහුණ දෙන අතර, සමහර මධ්‍යස්ථානවල එන්නත්කරණ වැඩපිළිවෙල ඉතා ක්‍රමානුකූලව සිදු වන බව ද බීබීසී සිංහල සේවය සිදු කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි.

කොළඹ, ගම්පහ සහ ගාල්ල ප්‍රදේශයන්හි පිහිටි මධ්‍යස්ථානවල තොරතුරු එන්නත් ලබාගත් පුද්ගලයෝ අපට පැවසූහ.

මේ අතර, ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ කොවිඩ් -19 එන්නත් වැඩිම මාත්‍රාවන් සංඛ්‍යාවක් සඳුඳා (අගෝස්තු 9) දින ලබා දුන් බව රජය නිවේදනය කළේය.

දිවා කාලය තුළ එන්නත් මාත්‍රාවන් 490,805 ක් ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසීය.

‘බංකු පෙරලගෙන දුවනවා’

“එන්නත ලබා ගන්න එන මිනිස්සු පෝලිම් පනිනවා. ඊට පස්සේ එකිනෙකා රණ්ඩු වෙනවා. හැමෝම මේ වෙලාවේ ලොකු මානසික ආතතියක තමයි ඉන්නේ. හැබැයි මේ විදිහට හැසිරුනොත් අපිට රාජකාරියට අමතරව සෑහෙන කාලයක් යොදවන්න වෙනවා පිරිස් පාලනයට.”

Vaccine centers in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය,OII/FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය,සමාජ මාධ්‍ය ජාලවල පළ වූවකි

“පෝලිම් පැනලා තෙරපෙන එක වළක්වන්න අපිට බංකු හරස් කරන්න සිද්ධ වුණා. ඒ වගේම එන්නත අරගෙන විනාඩි පහළොවක් ඉන්න කියනවා ඒ පුද්ගලයන්ට යම් ආසාත්මිකතා ඇතිවෙනවාද බලන්න. ඒ ටික වෙලාව තමන්ගේ හොඳටම ඉන්න කියන එකවත් අහන්නේ නැහැ. එනතැනින් පවා බංකු පෙරලගෙන පැනලා යනවා. කාඩ් එකවත් ගන්නේ නැහැ.”

“අපිට තනියම මේ යුද්ධය කරන්න බැහැ. මිනිස්සුත් විනයක් ඇතුව මේ දේවලට සහයෝගය දක්වන්න ඕනේ. පිටරට දේවල් බලලා හූල්ලනවා විතරයි, එළියට බැහැලා හැසිරෙන්නේ ගෝත්‍රික විදිහට,” කොළඹ එන්නත් මධ්‍යස්ථානයක සේවයේ නිරත වෛද්‍යවරිය පැවසුවාය.

‘අව්ව, වැස්ස නොබලා..’

ඇස්ට්‍රාසෙනෙකා දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා එන්නත් මධ්‍යස්ථාන 45ක් මේ වන විට ක්‍රියාත්මක වේ.

අනෙකුත් කොවිඩ් එන්නත් ලබා දීම සඳහා තවත් එන්නත් මධ්‍යස්ථාන 293 ක් ක්‍රියාත්මක වේ.

මධ්‍යස්ථාන කොතෙක් තිබුණ ද විශාල පිරිසක් එන්නත් ලබා ගැනීම සඳහා පෝලිම්වල සිටින අකාරය දැකගත හැකිය. මෙසේ පෝලිම්වල සිට එන්නත ලබා ගත් කීපදෙනෙකු බීබීසී සිංහල සේවය සමඟ සිය අත්දැකීම් බෙදා ගත්හ.

Vaccine centers in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

“අපි පාන්දර පහේ ඉඳන් පැය පහක් මහා වැස්සේ පෝලිමේ ඉඳලා වැක්සීන් එක ගත්තේ. මගේ තාත්තා අසනීප කෙනෙක්, එයාට හිටගෙන ඉන්න අමාරු නිසා අපි පුටුවකුත් අරගෙන ගියා පෝලිමට. වැක්සීන් එක ගන්නකොට අපි හොඳටම තෙමිලා. දැන් ගෙදර හැමෝටම අසනීපයි,” හෝමාගම පදිංචි සුජීවා පෙරේරා පැවසීය.

“අපි වැක්සීන් එක ගත්තේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ, සේවා වනිතා එකෙන් කරපු මධ්‍යස්ථානයෙන්. එතන හිටිය ලක්ෂ ගණනකට පළමු මාත්‍රාව ලබා දෙන්න එක්කෙනයි, දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න එක්කෙනෙකුයි විතරයි හිටියේ.

එන්නත දෙන මනුස්සයත් හෙම්බත් වෙලා, අපිටත් ඇවිද ගන්න පන නැහැ. මට ඒ වෙලාවේ මේ රට ගැන ඇතිවුණ කලකිරීම කියන්න වචන නැහැ. පුදුම දුකක් අපි විඳින්නේ,” ඇය ඉතා ආවේගයෙන් කියා සිටියාය.

‘අපි කරන්නේ හොඳම දේ’

කොවිඩ් වසංගතයට එරෙහිව හොඳම සහ ආසන්නම අංග සම්පූර්ණ විසඳුම වශයෙන් ලෝකය පිළිගන්නේ,එන්නත්කරණය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අගෝස්තු 10 වනදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

Vaccine centers in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

සැප්තැම්බර් මාසය වන විට එන්නත් මාත්‍රා මිලියන 32ක් ශ්‍රී ලංකාවට ලැබෙන අතර, 18ට වැඩි සියලු දෙනාට එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

සියලු කරුණු කාරණා සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමට රජය බැදී සිටින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.

‘පෝලිම්’

“අපි කළින් දවසේ රෑ හතේ ඉඳන් පෝලිමේ. අන්තිමට වැක්සීන් එක ගත්තේ උදේ නමයට. එන්නත දෙනවා කියලා රටට, ලෝකයට පෙන්වන්න මිනිස්සු පෝලිම් ගස්සවලා තියනවා. වැස්ස, සීතල, අව්ව, මදුරුවෝ කාගෙන පුදුම දුකක් විඳගෙන තමයි අපි වැක්සීන් ගත්තේ,” පිළියන්දල දිවිගෙවන අනෝමා ගුණවර්ධන පැවසීය.

“නොම්බරයක් දීලා වෙලාවක් දුන්නා නම් මිනිස්සු මේ තරම් දුකක් විඳින්නේ නැහැ. තාක්ෂණය මේ තරම් දියුණු වෙලා තියෙද්දී, ඒවායේ සහය අරගෙන හරි ක්‍රමවේදයකට එන්නතක් දෙන්න තරම්වත් අපි තවමත් දියුණු වෙලා නැහැ. ඉතින් දුක් විඳින මිනිස්සුන්ට මෙතැනදී කේන්ති ගිහින් ප්‍රශ්නත් ඇති වුණා, ඇය තවදුරටත් පැවසුවාය.

Vaccine centers in Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,කොවිඩ් එන්නත ලබාගැනීම පිණිස කළුතර සෞඛ්‍ය විද්‍යායතනය වෙත විශාල පිරිසක් එක්රැස්වීම හේතුවෙන් එහි තදබදයක් හටගෙන තිබිණ

Vaccine centers in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,සමහර මධ්‍යස්ථානවල එන්නත්කරණ වැඩපිළිවෙල ඉතා ක්‍රමානුකූලව සිදු වූ බව සමහරු පැවසූහ.

ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර මධ්‍යස්ථානවල නොම්මර ලබා දී තිබිණි.

“මට ලැබුණේ 411 නොම්මරය. පැය හයක් පෝලිමේ හිටියත් වැක්සීන් එක ගන්න ලැබුණේ නැහැ. අපිව හරවලා යැව්වා,” සචිත්‍රා බණ්ඩාර පැවසුවාය.

‘අමුතු විරෝධය’

පුත්තලම දිස්ත්‍රික්කයට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් අඩුවෙන් ලබාදෙන බව පවසමින් අඟහරුවාදා (අගෝස්තු 09) මහවැව නගර මධ්‍යයේ දී විරෝධතාවයක් පැවැත්විණි.

මෙම විරෝධතාවයට ජනතාව සහභාගී වී නොසිටි අතර, ඒ වෙනුවෙන් ප්ලාස්ටික් මිනිස් අනුරූ තබා තිබිණි. මෙම අනුරූවල විරෝධතා පුවරු එල්ලා තිබූ අතර, ශ්‍රී ලංකාවේ ‘අඩුවෙන්ම එන්නත් ලබා දුන් දිස්ත්‍රික්කය පුත්තලම’ බව එම පුවරුවල සඳහන් කර තිබිණි.

මෙම තත්වයට වගකිව යුත්තේ පුත්තලමේ දේශපාලකයන් හා නිලධාරීන් බව ද ඒවායේ සඳහන් කර තිබිණි.

මේ පිළිබඳ සිදු කළ විමසීමක දී පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු පැවසුවේ. මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයට කොවිඩ් එන්නත් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවය.

Vaccine centers in Sri Lanka
Vaccine centers in Sri Lanka

සමහර මධ්‍යස්ථානවල එන්නත්කරණ වැඩපිළිවෙල ඉතා ක්‍රමානුකූලව සිදු වූ බව සමහරු පැවසූ අතර සමහර ප්‍රදේශ වල කාර්යක්ෂම ක්‍රියාවලියක් සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

‘දකුණට මෙහෙයුම් මැදිරියක්’

දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ කොවිඩ්-19 මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කර තිබේ.

මෙම මෙහෙයුම් මැදිරිය ආරම්භ කිරීමේ අරමුණු ලෙස පහත තොරතුරු ලබාදිම සිදුකෙරේ.

දකුණු පළාත තුල කොවිඩ්-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීම.

එසේ එක් රැස් කරන ලද නිවැරදි තොරතුරු අදාල ආයතන වෙන සන්නිවේදනය කිරීම.

කොරෝනාවෛරසය පිළිබඳ ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකාය සමග දකුණු පළාතේ තොරතුරු සන්නිවේදන කටයුතු පවත්වාගෙන යාම.

කොරෝනාවෛරස ව්‍යාප්තිය පාලනය සඳහා දායකත්වය ලබා දෙන ආයතන/පුද්ගලයින් හා කොරෝනාවෛරසය හේතුවෙන් පීඩාවට පත් දකුණු පළාතේ ජනතාව වෙත අවශ්‍ය පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය.

ප්‍රාදේශීය වශයෙන් ජනමාධ්‍යවේදීන්ට දෛනිකව පළාතේ කොවිඩ් තොරතුරු ලබා දීම. BBC