ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහමද් සාද් කත්තක් මහතා ඊයේ (21) අරලියගහ මන්දිරයේ දී මා හමු වී කොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේ ය.

කොවිඩ්-19 අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය පළ කිරීමක් වශයෙන් පකිස්තානු රජය විසින් ප්‍රදානය කළ වෛද්‍ය උපකරණ තොගයට එරට නිෂ්පාදිත ශ්වසන ආධාරක (ventilators) 75ක් සහ C-PAP ශ්වසන අධාරක යන්ත්‍ර 150ක් අයත් වේ.

කොවිඩ්-19 පාලනයට කලාපීය වශයෙන් එකට එක්ව මුහුණ දීමේ ප්‍රයත්නයට දායක වෙමින් පාකිස්තානු සාර්ක් කොවිඩ්-19 හදිසි ආධාර ව්‍යාපෘතිය (Pakistan’s SAARC COVID-19 emergency assistance ) යටතේ මෙම වෛද්‍ය උපකරණ තොගය ප්‍රදානය කර තිබේ.

පාකිස්තානු රජයේ මෙම පරිත්‍යාගය සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ප්‍රණාමය පුද කළ මම දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ වැදගත්කම අවධාරණය කළෙමි.