විපුල් ෂාහ්, පසුගිය වසරේ සැප්තැම්බරයේ දින 11ක් ගෙවා දැමුවේ මුම්බායිහි රෝහලක දැඩි සත්කාර ඒකකයේ, කොවිඩ් හා සටන් කරමිනි.

ඉන් පෙර කිසිදා දියවැඩියා රෝග ලක්ෂණ මතුව නොතිබූ ෂාහ්ට, කොරෝනා වෛරසය ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස ස්ටෙරොයිඩ ඖෂධ ලබාදෙනු ලැබුණි.

ස්ටෙරොයිඩ, කොවිඩ් නිසා ඇතිවන පෙනහැලි ප්‍රදාහ තත්ත්වය අඩුකර දමන අතර, වෛරසයට එරෙහිව සටන් කිරීමේ දී ‘අධික්‍රියාකාරීත්වයට’ පත්වන සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් සිදුවිය හැකි හානිය අවම කිරීමට උපකාරී වන බව ද පෙනෙන්නට ඇත.

නමුත් එම ඖෂධ මඟින් සිරුරේ ප්‍රතිශක්තිය පහත හෙළන අතරම, දියවැඩියාව සහිත හා රහිත යන දෙකොටසටම අයත් රෝගීන්ගේ රුධිර සීනි මට්ටම ඉහළ දමයි.

කොවිඩ් වැළඳී සුවවීමෙන් අනතුරුව වසරක පමණ කාලයක් ගෙවීගොස් ඇතත්, 47 හැවිරිදි විපුල් ෂාහ් තවමත් සිය රුධිර සීනි මට්ටම පාලනය කිරීම උදෙසා ඖෂධ ප්‍රතිකාර ලබාගනියි.

“කොවිඩ් හැදිලා හොඳ වුණායින් පස්සේ දියවැඩියාවට බෙහෙත් ගන්න වෙච්ච මං වගේම ගොඩදෙනෙක්ව මම දන්නවා,” වෘත්තියෙන් කොටස් වෙළඳපොල තැරැව්කරුවෙකු වන ෂාහ් කියයි.

ලොව සෑම දියවැඩියා රෝගීන් සයදෙනෙකුගෙන්ම එක් අයෙකු වාර්තා වන්නේ ඉන්දියාවෙනි. දළ වශයෙන් මිලියන 77ක් දියවැඩියා රෝගීන් වාසය කරන ඉන්දියාව දෙවැනි වන්නේ, සිය ජනගහනයෙන් මිලියන 117ක් දියවැඩියා රෝගීන් වන චීනයට පමණි.

මෙම නිධන්ගත, ක්‍රමයෙන් උත්සන්න වන රෝගය වැළඳී ඇතත් තවමත් එය වැළඳී ඇතැයි හඳුනා නොගැනුණු තවත් මිලියන ගණනක් දෙනා සමාජයේ සිටිනා බව වෛද්‍යවරු සලකති. මෙම රෝගය වැළඳෙන්නේ සිරුරට අවශ්‍ය තරම් ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය කිරීමට අග්න්‍යාශය අපොහොසත් වූ විට හෝ, අග්න්‍යාශයෙන් ස්‍රාවය කෙරෙන ඉන්සියුලින් ඵලදායීව ප්‍රයෝජනයට ගැනීමට සිරුර අපොහොසත් වූ විට ය.

A medical assistant holds up a booklet with information on diabetes at a private clinic in New Delhi on November 8, 2011

ඡායාරූප මූලාශ්‍රය,AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,වාර්තා වන දියවැඩියා රෝගීන් සංඛ්‍යාව අතින් ඉන්දියාව දෙවැනි වන්නේ චීනයට පමණි

මෙසේ සිදුවූ විට රුධිරයේ ඇති ග්ලූකෝස් සීනි සාන්ද්‍රණය ඉහළ යන අතර වකුගඩු, දෙනෙත්, සහ හදවතට හානිවීම ඇතුළු බොහෝ බරපතල සෞඛ්‍යමය අවදානම්වලට මුහුණ පෑමට රෝගියාට සිදුවේ.

දියවැඩියාව, යමෙකුට කොවිඩ් රෝගය වැළඳීමේ සහ අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ අවදානම විශාල වශයෙන් ඉහළ දමන රෝග කාණ්ඩයට අයත් වේ. එම කාණ්ඩයේ අනෙක් රෝගී තත්ත්වයන් වන්නේ ස්ථුලතාව, අධි රුධිර පීඩනය, සහ හෘද හා පෙනහැලි රෝග යි.

කොවිඩ් වැළඳී සිට සුවය ලැබූ බොහෝ රෝගීන් මෑතක දී සොයාගැනුණු, පාලනය කිරීමට නොහැකි දියවැඩියා තත්ත්වයට ගොදුරු වෙතැ යි වෛද්‍යවරු බියෙන් පසුවෙති. කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අතින් ගත්කල ලොව දෙවැනි ස්ථානයේ සිටින ඉන්දියාවෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් මිලියන 32කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

“අපට තියෙන බය ඉන්දියාවෙන් වසංගතේ සමනය වෙන කාලය වෙනකොට, කොවිඩ්-19 නිසාම දියවැඩියා රැල්ලකුත් ඇතිවේවි කියන එක,” මුම්බායිහි වෙසෙන දියවැඩියා විශේෂඥයෙකු වන වෛද්‍ය රාහුල් බක්ෂි BBC හා පැවසුවේ ය.

මින් පෙර කිසිදා දියවැඩියාව නොතිබූ සිය රෝගීන්ගෙන් 8-10%කට පමණටම, කොවිඩ් වැළඳී සුවවීමෙන් මාස ගණනාවකට පසුත් අධික රුධිර සීනි මට්ටමෙන් පීඩා විඳින්නටත්, ඖෂධ ලබාගැනීමටත් සිදුවූ බව ඔහු පැවසුවේ ය.

“සමහරුන්ට සුළු දියවැඩියා තත්ත්වෙකටම ඇවිල්ලා. අනිත් අයගෙන් සමහරු කොවිඩ් හොඳවෙලා අවුරුද්දක් ගිහිල්ලත්, සීනිවලට බෙහෙත් ගන්නවා,” ඔහු කීවේ ය.

කිසිදා දියවැඩියාව නොතිබූ පුද්ගලයින්ට එම රෝගය වැළඳීමට හේතුකාරකය වන්නේ කොවිඩ්-19දැ යි යන්න ලොව පුරා වෛද්‍යවරුන් අතර වාද විවාදයන්ට තුඩු දී ඇති මාතෘකාවකි.

More than half of people with type 2 diabetes live in China, India and the US

ඡායාරූප මූලාශ්‍රය,AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,තවත් මිලියන ගණනක් ඉන්දියානුන් හඳුනා නොගත් දියවැඩියා රෝගීන්බව වෛද්‍යවරුන් සැක කරයි

මෙය, කොවිඩ් සඳහා ලබාදෙන ස්ටෙරොයිඩ් ඖෂධවල බලපෑමෙන් විය හැකියි, වෛරසය සමග සටන් කිරීමේ දී, ආසාත්මිකතා ඇතිකළ හැකි සයිටොකයින නම් රසායනිකයන් විශාල ප්‍රමාණයෙන් එක්රැස් වීම නිසා සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අධික්‍රියාකාරී වී සිරුරේ පටකයන්ට හානි කිරීමෙන් හෝ, ඉන්සියුලින් සාදන අග්න්‍යාශයික සෛලවලට වෛරසයෙන් හානි පැමිණීමෙන් ඇතිවන්නක් විය හැකි බව ඔවුන් කියයි.

මියුකෝර්මයිකෝසිස්, එසේත් නැති නම් ‘කළු පුස් රෝගය’, වැළඳී සුවවූ රෝගීන් සම්බන්ධයෙන් මෑතක දී ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සිදුකළ අධ්‍යයනයක් මේවා අතර ඇති යම් සබඳතාවක් පෙන්වා දීමට සමත්වී ඇත.

කළු පුස් රෝගය, කෝවිඩ් වැළඳී සුවවීමෙන් දින 12 – 18ක් අතර කාලයක දී වැළඳිය හැකි දිලීර ආසාදනයක් වන අතර, මෙය නාසයට, දෙනෙතට, සහ ඇතැම් අවස්ථාවන්හි දී මොළයට ද හානි කළ හැකි ය. ඉන්දියාවෙන් මේ වන විට කළු පුස් රෝගීන් 45 000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

මෙම රෝගීන් 127කින් දහතුන් දෙනෙකුට – එනම් මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 10%කට – හදිසියෙන්ම දියවැඩියා රෝගය වැළඳී තිබුණි. මේ පිරිසේ වයස් සාමාන්‍යය අවුරුදු 36ක් විය. මෙහි වැදගත් කරුණ වන්නේ, කොවිඩ් වැළඳී සිටි කාලය තුළ මෙයින් සත් දෙනෙකුම ස්ටෙරොයිඩ හෝ ඔක්සිජන් ලබා නොතිබීම යි.

“නමුත් මේ ලෙඩ්ඩුන්ගෙත් රුධිර සීනි ප්‍රමාණය ඉහළ ගිහින් තිබුණා. මේ නිසා අපි බයෙන් ඉන්නේ, ඉදිරි අවුරුදුවල දී දියවැඩියා රෝගීන් වැඩි වැඩියෙන් ඇතිවේවි කියලා,” අක්ෂි ශල්‍යවෛද්‍යවරයෙකු ද, කළු පුස් අධ්‍යයනයට සහභාගී වූ පර්යේෂකයෙකු ද වන වෛද්‍ය ආක්ෂේ නායර් පවසයි.

චෙන්නායි සහ දිල්ලිහි රෝහල් දෙකක රෝගීන් 555 දෙනෙකු සහභාගී කරගෙන සිදුකළ තවත් අධ්‍යයනයකින් පෙන්වා දී තිබුණේ කොවිඩ් වැළඳීමට පෙර සිටම දියවැඩියාව තිබේයැ යි රෝග නීර්ණය ලබා සිටියවුන්ට වඩා, කොවිඩ් වැළඳීමෙන් පසුව දියවැඩියාව වැළඳුනු රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම් ඉහළබව යි.

දියවැඩියා විශේෂඥයෙකු ද, අධ්‍යයනයේ සමකතුවරයෙකු ද වන වෛද්‍ය අනූප් මිෂ්රා පවසන්නේ කොවිඩ්-19 හා දියවැඩියාව අතර සම්බන්ධයක් පෙන්වමින් මතුවන මෙම සාධකයන් ඉතා “සංකීර්ණ” පින්තූරයක් මවාපාන බව යි.

A medical assistant administers an insulin shot to a diabetes patient at a private clinic in New Delhi on November 8, 2011.

ඡායාරූප මූලාශ්‍රය,AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,උග්‍ර දියවැඩියාවෙන් පෙලෙන රෝගීන්ට එන්නත් මඟින් ඉන්සියුලින් ලබා දීම අත්‍යවශ්‍ය ය

කොවිඩ් සඳහා ප්‍රතිකාර ලබමින් රෝහල්ගතව සිටි ඇතැම් රෝගීන්ට සිදුකෙරුණු හීමොග්ලොබින් A1c මට්ටම් පරීක්ෂණයේ ප්‍රතිඵලවලින්, ඔවුන් නව දියවැඩියා රෝගීන් බව නීර්ණයකර ඇත.

මෙම රෝගීන් කොවිඩ් වැළඳීමට ප්‍රථමව දියවැඩියාවෙන් පීඩා විඳිමින් සිටියා වුව ද කිසිදා රෝග නීර්ණයක් නොකෙරුණු අයවලුන් වීමට ද ඉඩකඩ තිබේ.

නොඑසේ නම්, කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලෙස ස්ටෙරොයිඩ ලබාදීම හේතුවෙන් දියවැඩියාව වැළඳුනවුන් ද විය හැකි ය.

මේ ඇතැම් රෝගීන්ගේ රුධිර සීනි මට්ටම් රෝහලෙන් පිටව ගිය පසු ක්‍රමයෙන් පහත වැටුන ද, විපුල් ෂාහ් වැනි තවත් රෝගීන්ගේ රුධිර සීනි මට්ටම් සාමාන්‍යයට වඩා ඉහළින් පැවතිණි.

“අපි නිශ්චය කරන්නේ, ඒ වගේ රෝගීන් ස්ථුලතාව නිසා හෝ ආරය නිසා හෝ දියවැඩියාව වැළඳීමේ පෙර අවදානමකින් හිටපු අය කියලා යි,” වෛද්‍ය මිෂ්රා පවසයි.

වඩාත් ‘දුර්ලභ’ අන්දමේ රෝගීන් වන්නේ කොරෝනාවෛරසය සිය අග්න්‍යාශයට හානි කිරීම නිසා දරුණු දියවැඩියා රෝගීන්බවට පත්වූ පිරිස යි. එවැනි රෝගීන්ට පළමු වර්ගයේ දියවැඩියාව (සිරුර ඉන්සියුලින් නිපදවීමට අපොහොසත්) සහ දෙවැනි වර්ගයේ දියවැඩියාව (සිරුර අවශ්‍ය පමණට ඉන්සියුලින් නිපදවීමට අපොහොසත්) යන දෙවර්ගයම මතුවිය හැකි ය.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියේ මහාචාර්ය රටර්ට අනුව අග්න්‍යාශය (එහි ඉන්සියුලින් නිපදවන පටකය ද ඇතුළුව) කොරෝනාවෛරසයට ඉලක්ක වන ග්‍රන්ථියකි.

“මේ වෛරස් එක සිරුරේ අනිත් තැන්වල දී භාවිතා කරනවාට වඩා වෙනස් ප්‍රතිග්‍රාහක තමයි අග්න්‍යාශයේ දී භාවිතා කරන්නේ. මේක කොච්චර බරපතල ද කියනවා නම්, දියවැඩියා මූලය මේ ඉන්සියුලින් හදන සෛල ද, එහෙම නැත්නම් සයිටෝකයින අධිප්‍රමාණය ද කියන එක අතර වාදයක් තියෙනවා,” මහාචාර්ය රටර් BBC සමග සඳහන් කළේ ය.

කෙසේ නමුත් තවමත් අපැහැදිලි කරුණ වන්නේ, කොවිඩ් වැළඳීමෙන් පසු දියවැඩියාව ද වැළඳුනු රෝගීන්ගේ එම රෝග තත්ත්වය කල් පවතිනවා ද යන්න යි.

“මම හිතන විදියට ඉන්දීය කෝණයෙන් බලද්දී පෙනෙන ලොකු ගැටලුවක් තමයි, දියවැඩියාව වැළඳුනු විශාල පිරිසක් (ඉන්දියාවේ) ඉඳිද්දී, කොවිඩ්වලින් ඇතිවෙන අහිතකර ප්‍රතිඵල සහ මරණ ගාණ දියවැඩියාව අඩු වෙනත් රටවලට වඩා හුඟක් ඉහළ යන එක,” මහාචාර්ය රටර් පැවසුවේ ය.

වසංගතය අවසන් වූ පසු ඉන්දියාව නියත වශයෙන්ම දියවැඩියාවෙන් තවත් පීඩාවට පත්වීම නොවැලැක්විය හැකි බවට වෛද්‍යවරු විශ්වාස කරති.

ඉන්දියාවේ පීඩාකාරී ලොක්ඩවුන් මඟින් බොහෝ ජනයා නිවෙස්වලට සීමා කිරීමටත්, නිවෙසේ සිට රැකියා කිරීමටත්, පිටතින් ආහාර ඇනවුම්කර ලබාගැනීමටත්, ව්‍යායාම දෙන ක්‍රියාකාරකම්වලින් මිදවීමටත් සමත්විය. බොහෝ ජනයා විෂාදයෙන් සහ කාංසාවෙන් පෙළෙති.

“මම ඒ වගේ මිනිස්සු ගොඩදෙනෙකුට දියවැඩියාව හැදෙනවා දැකලා තියෙනවා. මෙන්න මේ කාරණේ වෙන හැම කාරණේකටම වඩා මගේ හිතට වධ දෙනවා,” වෛද්‍ය මිෂ්රා පවසා සිටියේ ය.