ස්ථිර රැකියාවක් නොමැති තිදරු පියෙකුට මතුගම පොලිසිය විසින් අමානුෂික ලෙස පොලුවලින් පහර දී මාංචු දමා පොලිසියට රැගෙන ගොස් ඇති අතර පහරදීම් වලින් පොලිසිය තුල දී මිය යෑමෙන් පසු ඔහුට කොරෝනා වැළඳිමෙන් මිය ගියා යැයි අධිකරණ වෛද්‍ය වාර්තා පවා වෙනස් කරමින් සිද්ධිය වසා දැමීමට උත්සාහ කරන තිරිසන් සිද්ධියක් වාර්තා වේ.

සිද්ධිය වී ඇත්තේ පසුගිය 22 දා ය. මරා දමා ඇත්තේ යටදොලවත්ත, මතුගම පදිංචිව සිටි බෙල්ලන විතානගේ සාලිය ධනුක නම් 40 හැවිරිදි පුද්ගලයෙකි. ස්ථිර රැකියාවක් තිබී නැත. කුලී නිවසක ජීවත් වී ඇත. ඔහුට දරුවන් තිදෙනෙක් සිටින අතර බාල දරුවා හෘද වස්තුවේ හිලක් ඇති හෘද රෝගියෙකි.

සිය සැමියාට පහරදුන්නේ තමාගේ දෑස් ඉදිරිපිට යැයි මිය ගිය අයගේ බිරිඳ කේ. රේණුකා පවසන්නීය. ඇයගේ ප්‍රකාශයක් සහිත වීඩියෝවක් මෙහි දැක්වෙන අතර ඇය මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ‘අයිතිය’ වෙබ් අඩවියට මෙසේ ප්‍රකාශ කර ඇත.

“පහුගිය 22 දා දහවල් 1.30 ට පමණ බුලත් විටක් ගැනීම සඳහා ස්වාමියා නිවෙස අසල කඩයකට ගියා. මද වේලාවකින් ඔහු කෑ ගසනු ඇසුනා. ඔහුගේ කෑ ගැසීමට මං  දිව යන විට පුද්ගලයින් දෙදෙනෙක් මගේ සැමියාට කොසු මිටකින් හා තවත් පොල්ලකින් පහර දෙමින් සිටියා. පසුව මාංචු දමා අසල තිබු ත්‍රිරෝද රථයකට දමා ගත්තා.

එය මතුගම පොලිසියේ ත්‍රිරෝද රථය බවට මං හඳුනාගත්තා.  නිල ඇඳුමෙන් රියදුරු අසුනේ සිටි නිලධාරියාගෙන් සැමියා ගෙනියන්නේ ඇයිදැයි ඇහුවාම නිරෝධායන නීති කඩ කළ නිසා බව කීවා.”

එදින පස්වරු 2.30 ට පමණ මතුගම පොලිසියට යන විට ඇය දැක ඇත්තේ සැමියාට පහර දුන් නිලධාරින් දෙදෙනා හා තවත් නිලධාරින් සිව් දෙනෙකු රෙද්දකින් වැසු පුද්ගලයෙකු ඔසවාගෙන ජිප් රථයට දමාගෙන පිටව යන අයුරුය. ඇය පොලිස් ස්ථානයේ රිසව් නිලධාරියා ළඟට ගොස් සිය සැමියා පිලිබඳ විමසා ඇති අතර එහිදි ඔහු පවසා ඇත්තේ ඔහු අසනීප වී රෝහලට රැගෙන ගිය බවය. ඇය මේ පිලිබඳ ස්ථානාධිපතිවරයාගෙන් විමසු විට ඔහු පවසා ඇත්තේ එයාට හෘදයාබාදයක් සෑදුන නිසා රෝහල් ගත කළ බවත් ජීවිතය පවා විශ්වාස නැති බවයි.

එහිදී ඇය කෑ ගසා හඬමින් පවසා ඇත්තේ දරුවෝ තුන් දෙනා එක්ක ජීවත් වෙන්නේ කෙසේද? කුඩා දරුවාගේ පපුවේ හිලක්. ඒ්කට බෙහෙත් වලට ගොඩක් වියදම් යනවා. ඉන්න ගෙයක් නැහැ. මාස 04 කින් කුලිය ගෙවලා නැහැ යනුවෙනි.

අපි ඔයාට ගෙයක් හදලා දෙන්නම්, මරණ වැඩ ටිකත් කරලා දෙන්නම් යැයි ස්ථානාධිපතිවරයා පැවසු බව ඇය කියා සිටියි.

අසල්වැසි කාන්තාවක්ද සමඟින් ඇය වෑත්තෑව රෝහලට  යන විට ට්‍රොලියක සිය සැමියාව දමා තිබු බවත් මුහුණ ඉදිමී ලේ තිබුණු බව ඇය ප්‍රකාශ කර සිටියි. ඒ අසල සිටි හෙදියන් දෙදෙනෙකු ඇයට පවසා ඇත්තේ ගේනකොටත් මෙයා නැති වෙලා. පොලිසිය තමා වගකියන්න ඕනේ යනුවෙන්ය.

රෝහලේදී මිනිය කපන්නේ නැතුව භාර ගන්නා ලෙස ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටි බවත් ඊට එකඟ නොවු විට ඔහු සැරපරුෂ ලෙස කථා කළ බවද ඇය පවසයි.

පොලිසියෙන් මරා දැමූ සාලිය ධනුක කොරෝනා නිව්මෝනියාවෙන් මිය ගිය අයෙක් ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියා නිගමනය කර ඇතැයි ඇය කියයි. නමුත් පීසීආර් වාර්තාවක් ඇයට පෙන්වා නැත. ඒ එසේ නම් අධිකරණ වෛද්‍ය නිලධාරියා ද මේ අපරාධයට හවුල්කරුවෙකි.

(අයිතියට සහ වීඩියෝව සැපයූ හිතවතියට ස්තූතිය)

ඇයගේ තවත් ප්‍රකාශයක් සහිත වීඩියෝවක් පහතින්

ලංකා ඊ නිව්ස්