ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙමළ ඩයස්පෝරාව සමඟ සම්බන්ධ වීමට කැමති වීම නිසැකවම ප්‍රගතිශීලී පියවරක් වන අතර, අපි එය සාදරයෙන් පිළිගන්නා බව ‘ගෝලීය දෙමළ සංසදයේ (GTF) ප්‍රකාශක සුරේන්
සුරන්දිරන් කියා සිටියි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා හමුවීමට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ දෙමළ ජාතික නියෝජිතයින් (TNA) විසින් ඉල්ලීම් කරන විට, එම හමුවීම සුළු හේතු නිසා කල් දමා මේ වන විටත් ප්‍රමාද කර ඇති විටක, නිව්යෝර්ක් නුවර සිට ඔහු ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ඩයස්පෝරාව හා සම්බන්ධ වීමට තමාට අවශ්‍ය බවය.
මාස හයකට පෙර, එනම් 2021 මාර්තු මාසයේදී, ගෝලීය දෙමළ සංසදය (GTF) වැනි සංවිධාන සහ තමා වැනි අය ත්‍රස්තවාදීන් ලෙස තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය ගැසට් කර තිබියදී, ඔහුගේ හිත හදිසියේම වෙනස් වූයේ ඇයිදැයි පුදුමයට පත්ව සිටින බවද සුරේන් සුරන්දිරන් පවසයි.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා බටහිර රටවලට රාජපක්ෂ ආණ්ඩුවේ ලැබැඳියාව තවදුරත් තහවුරු කරමින් සංහිඳියාව ගොඩනැංවීමට ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාවට ඇරයුම් කර සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරේස් 19 වැනිදා හමුවූ අවස්ථාවේදීය.
”අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ ගැටලු විසඳා ගැනීමට ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරනවා” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී කියා සිටියේ ය.
 241893808 2006546999510605 6803018784999392529 n
මෙහිදී ජනාධිපතිවරයාට ඇති පළමු බාධාව වනුයේ, ඔහු මෙතෙක් ආ ගමන්මග සම්පූර්ණයෙන් ආපසු හැරවීමක් ලෙස පෙනෙන මෙම ක්‍රියාව, සිය ඡන්දදායකයන් ඉදිරියේ කෙසේ හෝ සාධාරණීකරණය කිරීමට ඔහුට සිදු ව තිබීමයි.
”මෙම ආණ්ඩුව විසින් වැරදි උපදෙස් මත අපට එරෙහිව තහනමක් පැන වූවද, ශ්‍රී ලංකාවේ ජනතාව සමග කටයුතු කිරීම අප නතර කළේ නැත. මෑතකදී වුවද, රටේ උතුරු නැගෙනහිර පමණක් නොව, සමස්ත ලංකාව තුළම, කොවිඩ් -19 වසංගතයට එරෙහි සටනේදී සහය දැක්වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන ගණනක වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ සඳහා අපි පහසුකම් සලසා දුන්නෙමු.” යයි ජනාධිපතිවරයාගේ ආරාධනයට ප්‍රතිචාර දක්වමින් සුරේන් සුරන්දිරන් කියා සිටියි.
ඔහු තවදුරටත් මෙසේද පවසයි.
ඩයස්පෝරා සංවිධාන සහ පුද්ගලයින් තහනම් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 300 ක විදේශ විනිමය ආදායම අහිමි විය හැකි බවට අපි මෑතකදී ගණනය කිරීමක් කළෙමු.  මෙය බොහෝ සංවිධාන සහ පුද්ගලයින් විසින් ලබා දෙන ලද වෘත්තීයමය සහායට අමතරව ය.
ලන්ඩන්හිදී (2015/2018) දෙවරක් සහ බර්ලිනයේදී (2016) වරක් GTF නියෝජිතයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවිය.  අපේ මිනිසුන්ගේ දුක්ගැනවිල්ල පමණක් නොව, ඇත්ත වශයෙන්ම ලංකාවේ සියලු ජනතාවගේ දුක්ගැනවිලි වලට විසඳුම් ලබා දිය හැකි නම්, අපි ඕනෑම කෙනෙකුට කතා කිරීමට සූදානමින් සිටිමු.
ජනාධිපතිවරයාට අප සමඟ කථා කිරීමට අවශ්‍ය දේශීය යාන්ත්‍රණය සම්බන්ධයෙන් ගත් කල, සංක්‍රාන්ති යුක්තිය තුළ අධිකරණ හා අධිකරණ නොවන ක්‍රියාවලීන් සහ යාන්ත්‍රණ තිබේ.
සිදු විය යුතු දේ හරියටම විස්තර කෙරෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 30/1 යෝජනාවේදී, අධිකරණ යාන්ත්‍රණයන් සඳහා සඳහන් කළ දේ ගැන සාකච්ඡා කිරීමට අපි ඉතා සතුටු වන්නෙමු.
ජනාධිපතිවරයා කැමති නම්, ඔහුට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) හා අදාළ එක්සත් ජාතීන්ගේ ආයතන සහ විශේෂ බලතල හිමි (විශේෂ වාර්තාකරුවන්) සම්බන්ධ කර ගත හැකි අතර, දැනටමත් සම්මත කරගත් යෝජනා වල විස්තර කර ඇති පරිදි මේවා වැඩිදියුණු කිරීමට ඔවුන් කැමති වනු ඇත. ”
(SLDR)