2019 ජනාධිපතිවරණය පසුවී දැන් වසර දෙකක් ගතවී තිබෙනවා. මේ වසර දෙකක ගමන් මග ගැන විමසා බැලීමක්, පසුවිපරමක් කිරීම වැදගත්. ජනාධිපතිවරණයේදී ජනතාව ඉදිරියේ විකල්ප දෙකක් තිබුණා. ඒ, ගෝඨාභය රාජපක්ෂ මහත්මාද එසේ නැත්නම් සජිත් පේ‍්‍රමදාස මහත්මාද යන තේරීම් දෙක සඳහා. ගෝඨාභය රාජපක්ෂ මහත්මාට 52% ක ඡුන්ද ප‍්‍රතිශතයක් ලැබී තිබුණා. සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබී තිබුණේ 42% ක ප‍්‍රතිශතයක්.

සජිත් පේ‍්‍රමදාසයන්ට නාමයෝජනා ලබාදීමට පක්ෂය තුළ ලොකු අරගලයක් තිබුණා. අවසන් මොහොත වනතුරු ඒ ගැන තීන්දුවක් ගැනීම ප‍්‍රමාද වුණා. ජනාධිපති අපේක්ෂකයාට පක්ෂ නායකත්වය ලබාදීම සඳහා පක්ෂය තුළ බහුතරයේ තිබූ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප වුණා. ඊට අමතරව ඡුන්ද ව්‍යාපාරය අතරතුර තම කඳවුර තුළ ඔහුගේ අවාසියට සිදුකරනු ලැබූ අප‍්‍රසන්න කටයුතු එමට තිබුණා. කෙනෙකු ජනාධිපති වීමට 50% ඉක්ම විය යුතුව තිබෙනවා. ඒ සඳහා ඔහුට 8% ක ප‍්‍රමාණයක් අඩුව තිබුණා.

ගෝඨාභය ජනාධිපතිවරයා 52% ක් ඡුන්ද ගත්තේ වියත් මගක රට ගෙන යන්න පොරොන්දුවීමෙන්. සැබවින්ම අද පවතින තත්ත්වය කෙබඳුද?

අද රජය වියතුන්ගේ සාධනීය විවේචන ඉවසන්නේ නැහැ. පාලනයේ ගමන් මග සම්බන්ධව ඉදිරිපත් කරන විකල්ප අදහස් ඉවසන්නේ නැහැ. විවේචනය සහ විකල්ප අදහස් ඉදිරිපත් කිරීම රජයට විරුද්ධවීමක් ලෙසයි, අද පාලනය සලකන්නේ කියන කාරණය පැහැදිලිව දකින්නට තිබෙනවා. මේ ආකාරයේ අධිපතිවාදී සිතීමේ ක‍්‍රමයකට, වැඩ කිරීමෙන් රටේ අනාගත ඉරණම කෙබඳු වේද යන්න සිතිය යුතුව තිබෙනවා. අද පාර්ලිමේන්තුව තුළම ආණ්ඩු පාර්ශ්වයට සම්බන්ධ මැති ඇමැතිවරු මේ තත්ත්වයට විරුද්ධව කතා කරන්නට පටන් අරන්. පහුගියදා හිටපු අමාත්‍යවරයකු වන සුසිල් පේ‍්‍රම්ජයන්ත් අධිනීතීඥතුමන් මහා වේදනාවකින් කතා කරනවා අපි දැක්කා.

”අපිට සිග්නල් කණු වෙන්නට බැහැ. පාර්ලිමේන්තුවට ගෙන එන මේ අණපනත් සමහරක් ගැන අපි කිසිවෙක් දන්නේ නැහැ. අපිත් එක්ක කිසිම අදහස් විමසීමක් නැහැ. මේක අපේ බුද්ධියටත් නිගරුවක්.”

තවත් පැත්තකින් තමන්ට දී ඇති අමාත්‍යාංශය හඳුන්වන නම්වලින් තියෙන ආයතනයන්වත් තමන්ට පවරා නැති බවට තවත් උගත් අමාත්‍යවරියක් වේදනාවෙන් අදහස් පළ කර තිබුණා. රජය පාර්ශ්වයේ සිටින වියත් සහ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීම ගැන අදහස් පළකිරීම් දැන් එන්ට එන්ටම වැඩිවීගෙන ඒම අපි දකිනවා.

මේ අතර අධිකරණ අමාත්‍යවරයාගේ විෂය පථය සම්බන්ධව තීන්දු තීරණ ගැන්මට, ඔහුව සමච්චලයට ලක්කරන ලෙසින් ඔහුට ඉහළින් ජනාධිපති කාර්ය සාධන කමිටුවක් පත් කරනවා. මේ පත්කර ඇති කමිටුව ගැන දෙස් විදෙස් මාධ්‍යවල පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ රාජ්‍යයන්ගේ මෙන්ම, මානව අයිතීන් ගැන උනන්දුව දක්වන සංවිධානවලද සැලකිල්ල යොමුවී ඇති අතර මෙය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය කෙරෙහි ඇති කරන බලපෑම කෙබඳු විය හැකිද?

අනෙක් පැත්තෙන් මේ රජය බලයට පත් කරන්නට බෙහෙවින්ම කැපවුණු වියත් මගේ බොහෝ උදවිය අද පෝලිමේ තමන් දැරූ පදවිවලින් ඉල්ලා අස්වෙමින් සිටිනවා. සමහරුන්ගේ අස් කිරීම් සඳහා දේශපාලන නියෝගදීම් කෙරෙනවා. විද්වතුන්ගේ උපදෙස් නොසලකමින් විද්‍යාව වෙනුවට මිථ්‍යාව පතුරවමින්, නිසි කලට නිසි ලෙසින්, නිසි දැක්මකින් පියවර නොගනිමින් ගිය ගමනක ප‍්‍රතිඵලය ලෙසින්, දහතුන්දහසකට අධික ජීවිත සංඛ්‍යාවක් බිලි දෙන්නට රටක් හැටියට අපට සිදුවීම ඇත්තෙන්ම ඛේදවාචකයක්. රජයේ මේ අදූරදර්ශී ගමනට, නියෝගයනට අවනතවන්නට නොහැකිවීම ඇතුළු හේතු ගණනාවක් මත තම තනතුරුවලින් ඉල්ලා අස්වූ වියතුන් රාශියක් සිටිනවා. මගේ මතකයට එන ඇතැම් අයවළුන්ගේ නම් මෙහි සඳහන් කරන්නට මම කැමතියි.

  1. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම
  2. මහාචාර්ය නිලීකා මලවිගේ
  3. විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන
  4. මහාචාර්ය මුදිත විදානපතිරණ
  5. ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම
  6. මහාචාර්ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන්
  7. සුසන්ත රත්නායක
  8. චූලානන්ද පෙරේරා
  9. රෝහණ පුෂ්ප කුමාර
  10. විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා
  11. ආචාර්ය සංජීව වීරවරණ

මේ ආකාරයේ බුරුතු පිටින් ඉල්ලා අස්වීම් සිදුවීම කිසි කලෙක අප නොදුටු තත්ත්වයක්. වියතුන් සමගින් පාලනයකට පොරොන්දු දී බලයට ආ රජයක් වියත් මගින් බැහැරව ගමන යමින් සිටිනවා. දේශපාලන පැවැත්ම සඳහා වන පටු ගමන් මගකට අවනත වන වියතුන් සමගින් පමණක් ගමන යන්නට කටයුතු කරමින් සිටීම දකින්නට තිබෙනවා. වියතුන්ගේ අදහස් නොඉවසන රජය වියතුන් අත්හැර දැමීම පිළිබඳ ආසන්න නිදසුන වන්නේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ ඉහළම විද්වතෙකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම ප‍්‍රතිපත්ති සභාවේ ප‍්‍රධානත්වයෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයා දී ඇති නියෝගය ගැන ඇති මාධ්‍ය වාර්තාවන්ය. අදාළ ක්ෂේත‍්‍රයන් පිළිබඳ විද්වතුන්ගේ අදහස් මායිම් නොකරමින්, ඔවුන්ට අගෞරව කරමින් යන ගමනින් පෙන්නුම් කරන්නේ දේශපාලන අපරිණත බව සහ උද්දච්චකම මිසෙක වෙන කිසිවක් නොවේ. අද ජනතාව මුහුණ දී ඇති සියලූ ප‍්‍රශ්න කෝවිඞ් ගිණුමට බැරකර ඇඟ බේරගන්නට ආණ්ඩුවට පුළුවන්කම ඇත්තේ නැහැ.

එක නිදසුනක් ගනිමු…

පොහොර අර්බුදයට හේතුව කෝවිඞ් වසංගතය නොවන බව කව්රුත් දන්නා කරුණක්. කෝවිඞ්වලටත් පොහොරවලටත් කිසිම සම්බන්ධයක් ඇත්තේ නැහැ. සෞභාග්‍ය දැක්මෙන් පොහොර පිළිබඳ වෙනසකට යෑම වසර දහයකින් සිදුකරන බවයි ප‍්‍රකාශ කර තිබුණේ. එදා එය වසර දහයකින් ක‍්‍රියාත්මක කරන බවක් ප‍්‍රකාශ කළේ කුමන කාරණා පදනම් කොටගෙනද යන්න ජනතාවට කිව යුතුව තිබෙනවා. දැන් වසර දහයක කතාව අමතක කර, ක්ෂණිකව ක‍්‍රියාත්මක කරන්නට තීන්දු කර තිබෙනවා. මෙය විද්වතුන්ගේ අදහස්වලට පටහැනි තීරණයක්. මෙය අපේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවට ගැටලූ ඇතිකරන්නක්. සාගතයකට අතවනන තීරණයක්. කෘෂිකර්මයෙන් යැපෙන අපේ රටේ බහුතර ගොවි ජනතාවට මහ කන්නය කරගත නොහැකි තත්ත්වයක්. කාබනික පොහොරවලින් ප‍්‍රමාණවත් අස්වැන්නක් ලබා ගැන්ම පිළිබඳව ගැටලූ ඇති බවත් ප‍්‍රකාශ වී තිබෙනවා. මේ වාතාවරණය තුළ කෘෂි සහ වැවිලි ආර්ථිකයෙන් ජීවත්වන ජනතාවට මේ ක්ෂණික තීන්දු ගැනීම් තුළින් ඔවුන්ගේ ජීවන අරගලය ද ඉතා අසීරු තත්ත්වයකට පත්කර තිබීම දකින්නට තිබෙනවා.

තවත් පැත්තකින් අපේ රටේ විද්‍යාත්මක පර්යේෂණ කිහිපයකින්ම සුදුසු නැති බවට ප‍්‍රකාශකොට ඇති පොහොර නැව්, ශ‍්‍රී ලංකාවට භාර ගැන්මට ඇතැම් බලවතුන්ගෙන් එල්ලවී ඇති බලපෑම් ගැන මාධ්‍ය වාර්තා කරුණු හෙළි කර තිබෙනවා. එම විදේශීය බලවේග අපේ පර්යේෂණ ආයතනවල සුදුසුකමට ද අභියෝග එල්ල කරමින් කරන්නාවූ මේ බලපෑම් අපේ රටේ ස්වෛරී බවට සහ ආරක්ෂාවට සැබැවින්ම තර්ජනයක්. මේ බලපෑම්වල තරම කොතෙක්දැයි කිවහොත්, අපේ මැති ඇමැතිවරුන්ව තානාපති කාර්යාලවලට කැඳවන තරමට කටයුතු සිදුවී ඇති බවට මාධ්‍ය වාර්තා පළවනවා. මෙය සිතාගත නොහැකි තත්ත්වයක්.

අපි ලොව කිසිදු රටක් සමග විරුද්ධකමක් ඇති කරගත යුතු නැහැ. එහෙත් කිසිදු රටක් ඉදිරියේ අප දණ නැමිය යුතුද නැහැ. අපි අපේ රටේ අභිමානය රැකගත යුතුයි. අපේ ජනතාවගේ යහපත, රටේ අභිමානය, රටේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ඉහළම ප‍්‍රමුඛතාව ලෙස සැලකිය යුතුයි.