රට මුහුණ දී තිබෙන අභියෝගවලට මුහුණ දීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර තිබේ.

කෙටි හා මධ්‍ය කාලීන යෝජනා ඇතුළත්ව මේ යෝජනාවලියක් සකස් කර ලබන මස ආරම්භ වන විට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට භාර දෙන බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ‘දිනමිණ‘ට ඊයේ (27) පැවසීය.

පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංෂික පෙරමුණ, යුතුකම කවය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, එක්සත් මහජන පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇතුළු පක්ෂ දහයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ඇමැතිවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහත්වරුන් ඉකුත් 25 දා රාත්‍රියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී සාකච්ඡාව කළ බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට භාරදීමෙන් අනතුරුව ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට ද පක්ෂ නායකයන් තීරණය කළ බව ඒ මහතා ප්‍රකාශ කළේය.