රාජ්‍ය හා පෞද්ගලික ආයෝජනයකින් රුපියල් බිලියන 1361.4ක (කෝටි 136,140) වියදමින් සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ඉදි කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

එහි පළමු අදියර යටතේ තලපත්පිටියට නිවාස 240 කින් සමන්විත , ‘THE RESIDENCIS KOTTE’, සුඛෝපභෝගී නිවාස සංකීර්ණ අද (31) ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය.

රාජ්‍ය හා පෞද්ගලික ආයෝජනයක් ලෙස ඉදිකිරීමට යෝජිත තලපත්පිටිය මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු සමාරම්භය, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් 31 දා පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාරේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමියේදී සිදු කෙරේ.

අභියෝගාත්මක ආර්ථික වාතාවරණයක් තුළ මෙරට ආර්ථිකයේ ප්‍රධාන බලවේගය වන ඉදිකිරීම් කර්මාන්තය යහපත් ලෙස පවත්වාගෙන යාම ආර්ථිකයේ ව්‍යුහාත්මක ශක්තිය ඉහළ දමනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන අතර තරගකාරීත්වය ඉහල නංවමින්, ඉහල සාර්ථකත්වයක් හා ගුණාත්මක භාවයක් සහිත ව්‍යාපෘතියක් ජනතාවට උරුම කිරීමේ අරමුණින් හා රටට දෙස් විදෙස් ආයෝජකයන් තෝරාගැනීම සිදු කර ඇත.

මේ නිවාස ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාරේ තලපත්පිටියේ අක්කර දෙකක භූමි භාගයක් ලබා දී තිබෙන අතර ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක් වන අයිසීසී සමාගම රුපියල් බිලියන 07ක ආයෝජනයකින් ඉදිකරන මේ මහල් නිවාස ව්‍යාපෘතියේ මහල් 20 බැගින් වූ අධි උස නේවාසික කුලුනු දෙකක් ඉදිකිරීමට යෝජිතය.

සුභාෂිණී සේනානායක