ඊයේ දින එනම් (2021/01/15) දින, වැලිගම නගරයේ පදිංචිව සිටි මාස දෙකක් වයසැති කොරෝනා ආසාධිතව මියගිය කුඩා මුස්ලිම් බිලිඳියකගේ දේහය හිත් පිත් නැති අයුරින් ආදාහනය කිරීමට රජය විසින් කටයුතු කර තිබූ බව අසන්නට ලැබුණි.

මෙම අශිෂ්ට සම්පන්න ක්‍රියාව මා තරයේ හෙලා දකින අතර පිලිකුල් සහගත ලෙස ප්‍රතික්ෂේප කරමි. තවද ලෝකයේ කිසිම රටක නොමැති අයුරින් අසත්‍ය නීති හුවා දක්වමින්, රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය කරමින්, කටයුතු කරන්නේ ඔවුන්ගේ සුපුරුදු චන්දගුණ්ඩුව වන ජාතීවාදී මාවත හෙලි පෙහෙලි කර ගැනීමේ අදිටනින් බව ජනප්‍රිය මතයට එහෙයි කියන සියලු දෙනාට අවධාරණය කරනු කැමැත්තෙමි.

මාස දෙකක කුඩා බිලිඳෙක් යනු තමා මොන ආගමට අයත් ද වත් නොතේරෙන වයසක සිටින කිරි කැටියෙකි.

මෙම ගැටලුව මුස්ලිම්ද, සිංහලද, දෙමලද නොව මා හට මේ කරුණ මෙතරම් ම හදට සමීප වන්නේ මා ද මාස දෙකක් වයසැති කිරිකැටියෙකුගේ පියෙකු බැවිනි. කුඩා දරුවෙකුගේ මල සිරුරක් ආදාහනය කර දැමීමට තරම් දැඩි තීරණයක් ගැනීමට තරම් මේ රටේ ජාතිවාදය රජයන්නේ ද?

ජාතිවාදය හිස තබාගෙන ගිනි අවුලමින් යන සියල්ලන්ටම මා හට පැවසීමට ඇත්තේ ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිලිතුරු දාර්ශනිකය කියා ය.

මා උපතින්ම සිංහල බෞද්ධයෙකි, මා හට කුඩා කල පටන් කියාදී ඇති. ධර්මයේ නම් සඳහන් වූයේ බුදුරජාණන් වහන්සේ අන් ආගමිකයන්ට ගරු කල අන්දමයි. තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා බුදු දහමද වෙනස් කර දේශනා කරමින් ඇති කර තිබෙන ජනප්‍රිය ජාතිවාදී රැල්ල නිසා සත්‍ය වහ කදුරු වී තිබේ.

ජනප්‍රිය මතයට පෙනී සිටීමට නම් සියල්ලන්ටම හැකිය, පහුගිය ජනාධිපතිවරණ සමයේ ජනප්‍රිය රැල්ලට ගිය බොහෝ දෙනෙකුට දැන් සිදුවී ඇත්තේ පසු තැවෙන්නටය, නමුත් නිවැරදි මතයට පෙනී සිට දේශපාලනයෙන් ඉවත් වූවද. සිතට එකඟව ජීවත් විය හැකිය.

ඔබත් ජනප්‍රිය රැල්ලට යාමට පෙර මොහොතක් සිතන්න

රෙහාන් ජයවික්‍රම
වැලිගම නගරාධිපති