රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලින් විදුලිය සැපයීම වෙනුවෙන් රුපියල් කෝටි 460ක (රු.බි. 4.6) මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට බිල්පත් ලෙස අය වීමට තිබෙන බව වාර්තා වේ.

රාජ්‍ය ආයතනවලින් කෝටි 360ක් ද (රු.බි. 3.6) අර්ධ රාජ්‍ය ආයතනවලට කෝටි 100ක් ද (රු.බි. 1) මෙසේ අය විය යුතුව ඇත. ඊට අමතරව පෞද්ගලික ආයතනවලින් කෝටි 1,180ක් ද (රු.බි. 11.8) විදුලිබල මණ්ඩලයට අය වීමට තිබේ.

සාමාන්‍ය පාරි‍භෝගිකයන්ගෙන් විදුලිබල මණ්ඩලයට අය විය යුතු බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 2,250කි. (රු.බි. 22.5). ලෙකෝ ආයතනයට විදුලි පාරිභෝගිකයන්ගෙන් අය විය යුතු බිල්පත් මුදල් ප්‍රමාණය කෝටි 220කි. (රු.බි. 2.2)

ඊට අමතරව විදුලිබල මණ්ඩලය විසින් විවිධ ආයතන වෙත කෝටි 53,000ක (රු.බි. 530) ණය මුදලක් ගෙවීමට තිබෙන බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග හෙළි කර සිටියේය.

විදුලිබල මණ්ඩලය ව්‍යාපෘති සඳහා ගෙවිය යුතු ණය ප්‍රමාණය කෝටි 27,300කි. (රු.බි. 273) බැංකු අයිරාවන් සමඟින් ගෙවිය යුතු මුළු බැංකු ණය ප්‍රමාණය රුපියල් කෝටි 10,900කි. (රු.බි. 109). බැංකු සුරැකුම්පත් (ඩිබෙන්චර්) ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,000කි. (රු.බි. 20)

පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 4,100කි. (රු.බි. 41) පුනර්ජනනීය විදුලි බලය මිලදී ගැනීම් වෙනුවෙන් ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 2,000කි. (රු.බි. 20) ඊට අමතරව ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 6,700කි. (රු.බි. 67)

පී.කේ. බණ්ඩාර