ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් හෙට(8) සවස 4.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත වේ.  රටේ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත වේ.

රටේ ඇති වී තිබෙන ආර්ථික, දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරුණු 15කින් සමන්විත යෝජනාවලියක් පසුගියදා ඉදිරිපත් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානින් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක්ද පක්ෂ නායකයකුගේ කා‍ර්යාලයේදි පසුගියදා (05) පවත්වා ඇත.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාකච්ඡාවකට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා කර ඇති ආරාධනය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කර ඇත.

 

ස්වර්ණා විජේකෝන්