රඹුක්කන නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත අද කැඳවා තිබේ.

ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කළේ අද පෙරවරු 11.00ට අදාළ නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින නියෝග කර ඇති බවය.

ඒ අනුව පොලිස්පතිවරයා, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, කෑගල්ල සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන් කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතය.

මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කළේ පසුගිය 19 වන දින රඹුක්කන නගරයේ පැවති විරෝධතාව පාලනය කිරීම අතර තුර විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර ඇති වු ගැටුම පිළිබදව සිදුකරන ඉදිරි පරීක්ෂණ සඳහා ඔවුන් මෙලෙස එම කොමිසම වෙත කැඳවන බවය. 

සිද්ධිය පිළිබඳව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එම කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තාව පදනම් කරගනිමින් මානව හිමිකම් කොමිෂන් සභාව රජය වෙත නිර්දේශ නිකුත් කිරීමට නියමිතය.

රඹුක්කන නගරයේ පැවති විරෝධතාව අතරතුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් නාරන්බැද්ද ප්‍රදේශයේ පදිංචි චමින්ද ලක්ෂාන් නැමැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.