ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබන මස 04 වනදා පැවැත්වීමට නියමිතය.

එදින පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා එම පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තුව මැයි මස 04, 05 සහ 06 යන තෙදින රැස්වීමට නියමිත අතර මැයි මස 06 වනදා හැර අන් දෙදින පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව සඳහන් වේ.

මේ අතර, කථානායකවරයා වෙත මේ වන විට ලැබී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා‍ව ලබන 28 වනදා රැස්වීමට නියමිත බව ද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.