ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු තීන්දු කරති

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු නැතැයි ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඊයේ (27) ඒකමතිකව තීන්දු කළහ.

අගමැතිවරයා සමඟ අරලියගහ මන්දිරයේදී ඊයේ (27) පැවති හමුවේ දී ඔවුන් මේ තීරණයට එළැඹිණි.

දිස්ත්‍රික් නායකයෝ සහ පළාත් පාලන ආයතන ප්‍රධානීහු මේ හමුවේදී රටේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් තම අදහස් ඉදිරිපත් කළහ.

මහින්ද රාජපක්ෂ මහතා බහුතර බලයක් සහිතව මහජන ඡන්දයෙන් පිහිටුවූ ආණ්ඩුවේ අගමැතිවරයා බවත් ජනතා පරිමාධිපත්‍යයට හිස නමන්නේ නම් අගමැතිවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කළ යුතු බවත් මෙහිදී ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඒකමතිකව කියා සිටියහ.

ඒ අනුව අදාළ තීන්දුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී දැනුම් දීමට ද ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු මෙහිදී තීන්දු කළහ.

මහින්ද රාජපක්ෂ නාමය හා ප්‍රතිරූපය භාවිත කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට අගමැතිවරයා ආරක්ෂා කිරීමේ වගකීමක් මෙන්ම යුතුකමක් ද ඇතැයි කී පළාත් පාලන ආයතන ප්‍රධානීහු රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති මෙවන් මොහොතක ආණ්ඩුව අස්ථාවර කර ස්වාධීන වීමට කිසියම් මන්ත්‍රීවරයකුට සදාචාරාත්මක අයිතියක් නැතැයි කියා සිටියහ.

එසේ ස්වාධීන වීමට ආණ්ඩුවේ කිසියම් මන්ත්‍රී පිරිසක් ක්‍රියා කරන්නේ නම් බිම් මට්ටමේ ජනතාව ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමට සූදානම්ව සිටින බව සිහි තබා ගත යුතු යැයි ද ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු කියා සිටියහ. මේ අතර රට හමුවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය ජය ගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවකට පමණක් බව පැවසූ මේ නියෝජිත පිරිස දුෂ්කරතා හමුවේ මෙවැනි අභියෝග ජය ගත් ඉතිහාසයක් ඇත්නම් ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය තුළ පමණක් බව ද අවධාරණය කළහ.

නුවන් කොඩිකාර