තඹුත්තේගමදී පෙරේදා (26) සිදු වූ රුපියල් ලක්ෂ 223ක මුදල් කොල්ලයේ සැලසුම්කරු බවට හඳුනාගත් රාජාංගණය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාව පොලිසිය මඟින් ඊයේ (27) අත්අඩංගුවට ගත්තේය. එම මන්ත්‍රීවරයා රාජාංගණය ප්‍රදේශයේ මුදලට කුකුළන් කොටවන පුද්ගලයකු බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.

කොල්ලකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 223 කොල්ලකෑමට ගමන් කළ යතුරු පැදිය ඒ සඳහා දී ඇත්තේ ද ඔහු විසින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මන්ත්‍රීවරයා සතුව තිබුණු අබලන් යතුරු පැදියක සිය හිතවතකුට දී එම පුද්ගලයා සතුව තිබුණු යතුරුපැදිය දින දෙක තුනක් පරිහණය කර දෙන්නම් යැයි කියා ගෙන ඇති බවත් එම යතුරුපැදිය කොල්ලය සඳහා යොදාගෙන තිබෙන බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. මේ කොල්ලය ඔවුන් සැලසුම් කර ඇත්තේ තඹුත්තේගම ප්‍රසිද්ධ තොග වෙළෙඳ ව්‍යාපාරිකයා දින දෙක තුනකට වරක් රුපියල් කෝටියක් දෙකක් මුදල් බැංකු ගත කරන බව බැංකු ආරක්ෂක නිලධාරියා විසින් මන්ත්‍රීවරයාට පැවසීමක් මුල් කරගෙන බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. අනතුරුව ඔවුන් කන බොන ගමන් මේ කොල්ලය සැලසුම් කර ඇති බව ද අනාවරණය වී තිබේ.

එම කොල්ලය වන අවස්ථාවේදී වෙනත් ගමනක් යමින් සිටි තඹුත්තේගම පොලිසියේ සේවයේ නිරතව සිටින සැරයන් බුද්ධික කුමාර එම ස්ථානයට කඩාවැදී සිය ජීවිත අවදානම නොතකා කරන මැදිහත් වීම මත බැංකු ආරක්ෂකයාත් ඔහුගේ සහායකයාත් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබිණි. ඒ කොල්ලකන ලද මුදල් ද සමඟිනි. එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී රාජාංගණය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා ගැන තොරතුරු හෙළි වී තිබේ.

ඒ අනුව පොලිසිය රාජංගණය නවසිරිගම පදිංචිව සිටි මන්ත්‍රීවරයාව පෙරේදා (26) රාත්‍රියේදී පොලිස් භාරයට ගෙන ඒ ගැන ප්‍රශ්න කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ මේ කොල්ලය සැලසුම් කර ඇත්තේ මන්ත්‍රීවරයා බවය.

කොල්ලකරුවන් දෙදෙනාට එම කොල්ලය සඳහා ගමන් කිරීමට යතුරු පැදියක් පවා සොයා දී ඇත්තේ මන්ත්‍රීවරයා විසින් බව ද අනාවරණය වී තිබුණි. ඒ අනුව ඊයේ (27) උදෑසන අත්අඩංගුවට ගත් රාජංගණය ප්‍රාදේශීය සභාවේ සුරංග මහේෂ් සූරියාරච්චි මංකොල්ලය සිදු වන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් තඹුත්තේගම කලුන්දෑගම පදිංචිකරුවකු වන ගරුමුණි අජන්ත, රාජංගණය 03 කණුවේ පදිංචිකරුවකු වන විජයමුණු සුසිල් කුමාර යන සැකකරුවන් ඊයේ (27) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 10 වැනිදා දක්වා ඔවුන් තිදෙනාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා විසින් නියෝග කරනු ලැබීය.

ගයාන් කුමාර වීරසිංහ, සමන්ත ධර්මකීර්ති-තලාව සහ ආනන්ද කරුණාදාස-අනුරාධපුර