29 හැවිරිදි ඉංජිනේරු උපාධිධාරියකු වන ජමේෂා මුබීන් පදවනු ලැබූ ගෑස් සිලින්ඩර දෙකක් හා පුපුරන ද්‍රව්‍ය අඩංගු මෝටර් රථය තමිල්නාඩුවේ කොයිම්බතූර්හි හින්දු කෝවිලක් අසල පුපුරා ගියේ පසුගිය ඉරිදා අලුයම් කාලයේය. ප්‍රහාරයක් සඳහා ගමන් කරමින් සිටි ඔහු මේ කෝවිල අසල පොලිසිය මාර්ග පරීක්ෂාවේ යෙදෙනු දැක වාහනය නතර කළ අවස්ථාවේ මේ පිපිරීම සිදුව තිබේ. කොයිම්බතූර් මෝටර් රථ පිපිරීමෙන් මියගිය ජමේෂා මුබීන්ගේ තමිල්නාඩු නිවස පොලිසිය විසින් පරීක්ෂා කිරීමේදී ඔහු විසින් දෙමල භාෂාවෙන් සටහන් තැබූ දින පොත් හතරක් සොයාගෙන ඇති අතර ඒවායේ ඉන්දියානු මුස්ලිම්වරුන් දෙවන පන්තියේ පුරවැසියන් බවට පත්ව ඇති බව මෙන්ම කර්ණාටක ප්‍රාන්තයේ පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් හිජාබ් ප්‍රශ්නය ගැනත් ඔහුගේ අදහස් සටහන් කර තිබේ. “මුබීන්ගේ දිනපොත සටහන්වලින් බොහෝ දුරට ඔහු අනෙකුත් ආගම්, විශේෂයෙන් හින්දු සහ ක්‍රිස්තියානි ආගම් කෙරෙහි දක්වන ආකල්පය හෙළි කරයි. ඔහු එම ආගම්වල දෙවිවරුන්ගේ නම් සඳහන් කර ඇති අතර ඒවා එකිනෙකට සම්බන්ධ කරන ඊතල සහිත අතින් ලියන ලද සටහන් පොලිසිය සොයාගෙන තිබේ..

ඉන්දියාවේ පළවන සන්ඩේ එක්ස්ප්‍රස් පුවත්පතට අදහස් දක්වමින් කොයිම්බතූර් නගරයේ පොලිස් කොමසාරිස් වී. බාලක්‍රිෂ්ණන් පවසා තිබුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හය දෙනා අතර සිටින මුබීන්ගේ ප්‍රධාන ආධාරකරුවන් වන අසාරුදීන් සහ අෆ්සාර්, හෙළිකර ඇත්තේ තමන් මුහුණ දී ඇති පීඩනය නිසා මෙවැන්නකට ජමේෂා මුබීන් යොමුවූ බවයි. බාලක්‍රිෂ්ණන් පවසන්නේ මුබීන් “ස්වයං-රැඩිකල්කරණයට ලක් වූ අයකු බව හෙළි වී ඇති බවත් ඔහු රැඩිකල් වී ඇත්තේ අන්තර්ජාලය හරහා බවත් කෙසේ නමුත් බෝම්බ සෑදීම පිළිබඳ වඩා ප්‍රමුඛ දැනුමක් ඔහු සතුව නොමැතිවී ඇති බවත්ය.

“සෙනසුරාදා (ඔක්තෝබර් 22) රාත්‍රි 11.25 ට පමණ ගෑස් සිලින්ඩර් සහ අනෙකුත් ද්‍රව්‍ය තම මෝටර් රථයට පටවාගෙන, මුබීන් අසල මාර්ගයකට ගොස් පැය කිහිපයක් එහි නවතා පසුව සිය අවසන් ගමන ආරම්භ කර ඇත. ඔහු තවමත් පොලිසිය විසින් නොදන්නා ඉලක්කයක් වෙත යමින් සිටි අතර කෝවිල අසල පොලිස් මුරපළක් දැක වාහනය නවතා පුපුරුවාගෙන ඇතැයි පොලිසිය විශ්වාස කරයි. මුබීන්ගේ ඉලක්කය ගැන අසාරුදීන් සහ අෆ්සාර් කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි කර නැත. මුබීන්ගේ නිවසින් පොලිසිය සොයාගත් බවට තීරණාත්මක සාක්ෂියක් වූයේ ISIS සංකේතයක් ඇඳ ඇති කොළ පැහැති රාමුවක් සහිත ලෑල්ලකි. මේ වන තෙක් ඔහුට පිටතින් උදව් ලැබුණු බවට කිසිදු සාක්ෂියක් නැත. නමුත් 200කට අධික පිරිසක් ඝාතනය කළ ස්වයං-රැඩිකල්වාදී ප්‍රහාරකයකු වන සහරාන් හෂීම් (ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධාන මරාගෙන මැරෙන බෝම්බකරු) ගැන මුබීන් ඉහළ සැලකිල්ලක් දැක්වූ බව ඔහුගේ සහායකයන් පොලිසියට ප්‍රකාශ කර තිබේ. එසේනම් කොයිම්බතූර් ප්‍රහාරයේ මහමොලකරු සහරාන් හසීම්ද? පසුගිය කාලය ලංකාවේ කතෝලික පල්ලිය පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සෙවීම වෙනුවෙන් නිරන්තරව කෑගැසූ නමුත් දැන් නිහඬය. ඒ මොළකරු හසුවූ නිසාද? නැත්නම් වෙන ප්‍රශ්නයක් නිසා දැයි අප දන්නේ නැත. මොළකරු ගැන සොයන්නට දෙයක් නැත. සහරාන්ගේ මෙන්ම ජමේෂා මුබීන් යන දෙදෙනාගේම මහමොළකරු දෙදෙනෙක් නොවේ. ලංකාවේ මහමොළකරු සෙවීම දේශපාලන කුමන්ත්‍රණයකි. රෙජීම වෙනසක් වෙනුවෙන් මහමොළකරු පිළිබඳ කතාව ඉදිරියට ගෙනයන ලදී. එය වෙනම කතාවකි.

ඇත්තෙන්ම මුබීන් ශ්‍රවණාබාධිත කාන්තාවක් සමඟ විවාහ වූයේ “ඔහුගේ ඇදහිල්ලෙන් ඇති කරන ලද පරිත්‍යාගශීලී ආත්මයේ කොටසක් ලෙස” යැයි ඉන්දීය බුද්ධි අංශ කියයි. මේ නිසාම ඔහුට මරාගෙන මැරෙන ප්‍රහාරයක් වෙනුවෙන් මුලසිටම සිත එකඟ කරගත හැකිය. හෙතෙම තම බිරිඳ සහ දරුවන් දෙදෙනා ඇගේ නිවසට යැව්වේ පිපිරීමට දින හතරකට පෙරය. පිපිරීමට පැය කිහිපයකට පෙර, ඔහු අෆ්සාර්ගේ නිවස අසල නවතා තිබූ නව මරුටි 800 මෝටර් රථයට ද්‍රව්‍ය පටවා ඇත. පසුව ඔහු පාන්දර 1.00 ට පමණ නිවසට පැමිණ ඇඳුම් මාරු කර අවසන් ගමනට පිටත්ව ඇත. පසුගිය බ්‍රහස්පතින්දා, තමිල්නාඩු රජයේ නිර්දේශය මත මධ්‍යම ආණ්ඩුවේ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව පරීක්ෂණ පවත්වන ප්‍රමුඛතම ඒකකය වන ජාතික විමර්ශන ඒජන්සිය වෙත මේ ප්‍රහාරයේ පරීක්ෂණ භාරදී ඇත.

කොයිම්බතූර් ප්‍රහාරය මහමොළකරු සෙවීම ?

ඔක්තෝබර් 23දා කොයිම්බතූර් කාර් පිපිරුම් විමර්ශනය සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ආණ්ඩු පක්ෂය සහ භාරතීය ජනතා පක්ෂ ප්‍රාන්ත ප්‍රධානී කේ. අන්නමලෙයි අතර මත ගැටුමක් ගොඩනැඟී ඇති අතර තමිල්නාඩු ආණ්ඩුකාර ආර්. එන්. රවී ප්‍රාන්ත පොලිසියේ කාර්යක්ෂමතාවය අගය කළ නමුත් ජාතික විමර්ශනය ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය විවේචනය කර තිබිණි. කොයිම්බතූර් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ පිපිරීම සඳහා යොදාගත් ද්‍රව්‍ය සහ විමර්ශනයේදී සොයා ගන්නා ලද රසායනික ද්‍රව්‍ය සහ අමුද්‍රව්‍ය අනුව මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව හෙළිවන බවයි. සියලුම රාජ්‍ය සහ මධ්‍යම ආයතන අතර වඩා හොඳ සම්බන්ධීකරණයක අවශ්‍යතාවය අවධාරණය කරමින් ආණ්ඩුකාර රවී ප්‍රකාශ කළේ “කොයිම්බතූර් යනු ත්‍රස්තවාදී මොඩියුල ඇති කරන ප්‍රසිද්ධ ස්ථානයක් යනුවෙනි.”

ඇත්තෙන්ම 1998 පෙබරවාරි 14 සෙනසුරාදා තමිල්නාඩුවේ කොයිම්බතූර් නගරයේ ස්ථාන 11කදී බෝම්බ ප්‍රහාර 12කින් පුද්ගලයන් 58ක් මියගිය අතර 200කට වැඩි පිරිසක් තුවාල ලැබීය. මේ බෝම්බ මෝටර් රථ, යතුරුපැදි, බයිසිකල්, රෝද දෙකේ පැති පෙට්ටි, ඩෙනිම් සහ රෙක්සීන් බෑග් සහ පළතුරු කරත්තවල සඟවා තිබුණි. පුපුරුවා නොගිය බෝම්බ කිහිපයක් පසුව යුද හමුදාව, ජාතික ආරක්ෂක භටයන් සහ තමිල්නාඩු කමාන්ඩෝ භටයන් විසින් නිෂ්ක්‍රීය කරන ලදී. 1997 දෙසැම්බරයේදී සෙල්වරාජ් නමැති රථවාහන පොලිස් නිලධාරියාගේ ඝාතනයෙන් පසු හින්දු මූලධර්මවාදී කණ්ඩායම් විසින් මුස්ලිම්වරුන් 18 ක් ඝාතනය කර මුස්ලිම්වරුන්ගේ දේපළ දහස් ගණනක් කොල්ලකෑම නිසා ඇති කළ කෝලාහලයට පළිගැනීමක් ලෙස මෙම බෝම්බ ප්‍රහාර කළ බව පසුව හෙළිවිය. අල් උම්මා නම් රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායමේ නිර්මාතෘ එස්. ඒ. බාෂා මෙහි මහමොළකරු විය. භාරතීය ජනතා පක්ෂයේ නායක එල්. කේ. අද්වානි ඉලක්ක කර ගැනීම මේ ප්‍රහාරයේ තවත් අරමුණක් විය. නමුත් එය ඉටු නොවිණි. කොයිම්බතූර් හි 80% වැඩි පිරිස හින්දු ආගමිකයන් වුවත් 8% මුස්ලිම් වන අතර 7% ක්‍රිස්තියානි ආගම අදහති.

2016 වසරේදී බංග්ලාදේශයේ අවන්හලක සිදුවූ ප්‍රහාරය වැනි කලින් කලට උප මහාද්වීපයේ එල්ල කෙරුණ ජිහාඩ් ප්‍රහාර හරහා ‘සලාෆි’ දේශකයන් පිළිබඳව සහ ඔවුන් තරුණ මුස්ලිම් ප්‍රජාවට කරන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබුණි. සකීර් නායික් එවැනි අන්තවාදියෙකි. ඔහු සිත් ඇදගන්නා දේශකයකු මෙන්ම ඉහළ අලෙවියක් සහිත ඉස්ලාම් ආගමික ග්‍රන්ථ රචනා කළ කතුවරයෙකි. මධ්‍යම පන්තික සහ නාගරික මුස්ලිම්වරුන් විශාල පිරිසක් සකීර් නායික් වටා එක් රැස්ව සිටියහ. පැහැදිලි ඉංග්‍රීසි බසින් දේශනවල යෙදෙන සලාෆිවරයකු වන නායික්, ආගමික කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශ්ලේෂණ අනුව දකුණු ආසියාවේ තරුණ මුස්ලිම් ප්‍රජාව අතර ජනප්‍රිය තැනැත්තෙකි. පාස්කු ප්‍රහාරයෙන් පසු ස්කීර්ගේ රූපවාහිනි චැනලය ලංකාවේ තහනම් කරන ලදී. 2016 වසරේදී කේරළයේ මුස්ලිම් වැසියන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ මීගමුව වෙත පැමිණ තිබිණි. ඒ, ඉස්ලාම් ධර්මය මුහම්මද් නබිතුමන්ගේ කාලයේ පැවති ආකාරයට නැවත ගෙන යන බව පවසමින් ස්ථාපනය කර තිබූ ‘සලාෆි’ මධ්‍යස්ථානයකට එක් වීම සඳහාය. එම කණ්ඩායම අයිසීස් හිතවාදීන් බව හෙළි වීමෙන් ඔවුන් එම මධ්‍යස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති අතර, ඔවුන් පසුව ඇෆ්ගනිස්ථානයේ අයි. එස්. සංවිධානය සමග එක් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබිණි. සහරාන් හෂීම් දකුණු ඉන්දීය ජිහාඩ්වාදීන් අතර ජනප්‍රිය වූයේ ඔහුගේ දෙමළ දේශන වඩා ආකර්ශනීය වූ නිසාය. පාස්කු ඉරිදා සිදුවූ ශ්‍රී ලංකා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ඉන්දීය බුද්ධි අංශ විසින් කරන ලද පරීක්ෂණයකින් එකක් වන්නේ, දකුණු ඉන්දියාවේ සලාෆි අනුගාමිකයන් ජිහාඩ්වාදීන් ලෙස බඳවා ගැනීම සම්බන්ධයෙන් හෂීම් ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳවයි.

කෙසේ නමුත් දකුණු ඉන්දියාවේ සිදුවන ජිහාඩ් ක්‍රියාකාරකම් පිළිබඳව ලංකාවේ බුද්ධි අංශ වඩා උන්නදුවෙන් සොයා බැලිය යුතුව තිබේ. ලංකාවේ ප්‍රහාරවලින් ඉන්දීය අන්තාවාදී කොටස් ප්‍රහර්ෂයට ලක්වූවා සේම මෙරට අන්තවාදී කොටස් නැවත ඉන්දියාවෙන් ආදර්ශ ගෙන තවත් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සඳහා යොමුවිය හැක. දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරුව වඩා වැදගත් වන අතර දකුණු ඉන්දීය ආගමික කණ්ඩායම් ලංකාවට පැමිණ නැගෙනහිර පළාතේ සිදුකරන ක්‍රියාකාරකම් ගැන වඩා අවධානය යොමුවිය යුතුය. රට ස්ථාවරව පවත්වාගෙන යෑමට ජාතික ආරක්ෂාව වඩා සහතික විය යුතුය. පාස්කු ප්‍රහාරය අපේ සංචාරක ව්‍යාපාරයට මාරු පහරක් විය. වර්තමානයේ ඇතිව තිබුණේ ආර්ථික අර්බුදය මුලින්ම මෝදුවන්නට පටන්ගත්තේ පාස්කු ප්‍රහාරය හරහා සංචාරක ව්‍යාපාරය අඩපණ වීමෙනි. පසුව වසංගත ප්‍රහාරයෙන් ලංකා ආර්ථිකයට සිහි නැතිවිය.

චතුර පමුණුව Divaina