නැති ප්‍රශ්න ඇති කරගන්නා හැටි තේරුම් ගන්න හොඳ උදාහරණයක් තමයි කොවිඩ් මරණ භූමදාන ගැටලුව. එය සැබැවින්ම ගැටලුවක් නොවේ. නමුත් කවුරුන් විසින් හෝ එය ගැටලුවක් බවට හැරෙව්වා. විද්‍යාත්මක දැනුමෙන් මොට කර ඇති සමාජය එම ගැටයට ලෙහෙසියෙන්ම හසු වුණා.

ආදාහනයෙන් හෝ භූමදානයෙන් හෝ මොන විදිහෙන් හෝ අවසන් කටයුතු කළත් බෞද්ධ සිංහල සමාජයට ගැටලුවක් තිබුණේ නැහැ.

ආදාහනය පමණක් කළ යුතු යැයි අප සමාජයෙන් එවැනි බලපෑමක් මුලින් ආවේත් නැහැ. නමුත් ආණ්ඩුවේම කවුරුන් හෝ ආදාහනය පමණක් කළ යුතු යැයි තීරණය කළා. එවිට මුස්ලිම් සමාජය එයට විරුද්ධ වුණා.

එවිට බෞද්ධ සමාජයේ පිරිසක් එම මුස්ලිම් සමාජයේ විරෝධයට විරුද්ධ වුණා. මේකට කතෝලික සමාජයේ පිරිසකත් කිසියම් විරෝධයක් ආවා.

ඒක හැදිලා තිබුණේ අප්‍රේල් 21 ප්‍රහාරය සිදු කළේ මුස්ලිම් පිරිසක් නිසා මුස්ලිම් අයගේ විරෝධයට ඇතැම් කතෝලිකයන් අතරත් විරෝධයක් ආවා.

කලින් නොපැවති ආගමික ගැටලුවක් ලංකාවේ ඇති කළේ ඔන්න ඔහොමයි. පසුව එය අනවශ්‍ය ලෙස දිග්ගැස්සුවා. ලෝක ජනමාධ්‍යවල අපව සවුත්තු වුණා. අවසානයේදී එයට පාකිස්ථානයේ අගමැති පවා පෞද්ගලිකව මැදිහත් වූ බවක් පේනවා.

ස්වෛරී ස්වාධීන නිදහස් රාජ්‍යයකට බැරි වුණා තනිවම නිවැරදි තීරණය ගන්න. දැන් භූමදානයට අවසර දීලා. එනම් අර මුලින්ම ගත් සහ මුලින්ම ගත යුතුව තිබූ තීරණයටම වටයක් ගොස් පැමිණිලා. නමුත් ලංකාවේ ආගමිකයන් අතර ඇතිවුණු විරසකය එහෙමමයි.

මුස්ලිම් සමාජය හිතනවා තමන්ට අසාධාරණයක් කළා කියා. බෞද්ධ සිංහල සමාජය හිතනවා තමන්ට අසාධාරණයක් කළා කියා. කතෝලික සමාජය හිතනවා තමන්ට අසාධාරණයක් කළා කියා. නැති ප්‍රශ්නයක් ඇති කළා. එයින් විවිධ පුද්ගලයන් වාසි ලබා ගන්නවා.

මා මේ ලියන ලිපි කියවන්නේ සීමිත පිරිසක් බව මා දන්නවා. එයින් එතරම් බලපෑමක් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් මේ කියවන අයගෙන් මා ඉල්ලා සිටින්නේ මෙවැනි ගැටවලට අහු වෙන්න එපා කියලයි. විශේෂයෙන්ම මාද අයත් වන බෞද්ධ සිංහල සමාජයෙන් මා ඉල්ලා සිටින්නේ කරුණාකර විද්‍යාත්මක දැනුමෙන් පරිපූර්ණ වෙන්න.

ආචාර්ය මහාචාර්යවරු හෝ විශේෂඥයන් හෝ මම හෝ කවුරුන් හෝ කියන දෙයක් එහෙමම බාරගන්න එපා. ඒවා විද්‍යාත්මකව තාර්කිකව සාධාරණව විමසා බලන්න. විශ්ව දැනුම අද අපේ අතැඟිලි කෙළවර. ඕනෑම දෙයක් ගැන පරතෙරටම දැනගන්න දැන් අපට පුළුවන්.

විද්‍යාව පට්ටපල් බොරු කියමින් දේවමණ්ඩලවල බොරු ඉතිහාසවල අපව පටලවන මිත්‍යාදෘෂ්ටික කපටියන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රී බුද්ධ ධර්මයෙන් පෝෂණය වුණු විද්‍යාවෙන් ප්‍රඥාවෙන් ආලෝකමත් වුණු සිංහල සංස්කෘතික සමාජය අප නැවත සාක්ෂාත් කළ යුතුයි. මෙලොව පරලොව දියුණුව ඇත්තේ එතනයි.

ධර්මය අපට මග වේවා!

එරන්ද රංගනාථ ගිනිගේ