
නියමිත කාලය තුල ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර නම් නොකළ විට මොකද වෙන්නෙ?
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7 සහ ජාතික ජන බල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඇතුළු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8 ක් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ මෙසේය
සමගි ජන බලවේගය
- රත්නායක මුදියන්සේලාගේ රංජිත් මද්දුම බණ්ඩාර
- අත්තනායක මුදියන්සේලාගේ කුඩාබන්ඩා තිස්ස අත්තනායක
- ඉමිතියාස් බාකීර් මාකර්
- ඉරාන් වික්‍රමරත්න
- නාලක ජූඩ් හරීන් ප්‍රනාන්දු
- මයන්ත යස්වන්ත් දිසානායක
- ඩයනා ගමගේ
ජාතික ජන බලවේගය
- ආචාර්ය හරිනි අමරසූරිය
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය තමන්ට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මේ දක්වාත් ප්‍රකාශයට පත් කර නැත. අපේ ජන බල පක්ෂයේ භික්ෂූන් ඒ වෙනුවෙන් එකිනෙකා මරා ගන්නා අතර එජාපයේ ඇති නායක අර්බුදය හේතුවෙන් එම පක්ෂයටද අයෙක් පත්කර ගැනීමට හැකි වී නැත.
මන්ත්‍රී ධූර අහෝසි වෙනවාද?
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීම සඳහා කොමිසම ලබා දී තිබූ කාලය 14 වැනිදායින් අවසන් වූූ අතර බොහෝ දෙනා සිතාගෙන ඉන්නේ මන්ත්‍රීධූර සඳහා කිසිවෙක් නම් නොකළ බැවින් ඉන් පසුව එම ධූර අහෝසි වන බවකි. ඒ එසේ නොවේ.
1989 පත් වූ පාර්ලිමේන්තුවේ එක්සත් සමාජවාදී සන්ධානයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට නම් කෙරුණේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ය. ඔහු නම් කෙරුණද පාර්ලිමේන්තුව රැස්වීමට පෙර ඔහු අභාවප්‍රාප්ත විය. ඉන් පසු එම ධූරයට සන්ධානයේ සිටි පක්ෂ කුලල් කා ගත් බැවින් කිසිවෙකු හෝ නම් කිරීමට වසර 2 ක් තිස්සේ නොහැකි විය. පසුව ප්‍රේමදාස ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් පැමිණි විට ඒ සඳහා සන්ධානයේ ලේකම්ව සිටි රාජා කොල්ලුරේ පත් කෙරිණ. ඒ නම් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකට පුද්ගලයෙකු පත් කිරීමට කාලය බාධාවක් නොවන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිලිබඳ විශාරදයෙකු මේ සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය පැහැදිලි කෙළේය.
නීතියේ ‘නියෝගාත්මක ප්‍රතිපාදන’ සහ ‘අනිවාර්ය ප්‍රතිපාදන’ නමින් කොටස් දෙකක් පවතී. උදාහරණයක් ලෙස ලංකාවේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීම සිද්ධිය සිද්ධ වීමෙන් මසක් තුල කළ යුතුයැයි නීතියක් තිබේ. එය නීතියේ ‘අනිවාර්ය ප්රතිපාදනයකි’. එමෙන්ම එවැනි මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව විභාගයට ගැනීමෙන් මාස 2 ක් තුල ලබා දිය යුතුයැයි ද නීතියක් තිබේ. එය ප්‍රායෝගිකව සිදුකළ නොහැකි දෙයකි. එවැනි නඩුවක් විභාග කිරීමට ඊට වඩා වැඩි කාලයක් ගත වේ. එය නීතියේ ‘නියෝගාත්මක ප්රතිපාදනයකි’. එවැනි නියෝගාත්මක ප්‍රතිපාදන වල දී නීතියේ සඳහන් කාලය ඉක්මවා ගියද කළ හැකි දෙයක් නැත. ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් නම් කිරීමේ කාලය පිළිබඳ නීතියද එවැනි නියෝගාත්මක ප්රතිපාදනයක් පමණක් මිස අනිවාර්ය ප්රතිපාදනයක් නොවේ.
Leave a Reply