පිළිකා කාරක ඇෆලටොක්සීන් ආහාරයට එක්වුවහොත් ඇති වන රෝගාබාධ පිළිබඳව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මාධ්‍යයට අදහස් දක්වමින් , “ඇෆ්ලටොක්සීන් සාමාන්‍යයෙන් අක්මාවට අහිතකර දෙයක්. ඇෆ්ලටොක්සීන් ශරීරගත වීමෙන් ශරීරයේ පිළිකා තත්ත්වයක් ඇතිවිම්මේ හැකියාව තිබෙනවා. වැඩිහිටියන්ට වඩා කුඩා ළමයින්ට මෙය වැඩිපුර බලපාන්න පුළුවන්. මක් නිසාද ඔවුන්ගේ දරාගැනීමේ හැකියාව අඩු නිසා. අෆ්ලටොක්සීන් කුඩා ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ ශරීරගත වුණොත් කුඩා දරුවන්ගේ ශරීර වර්ධනයට පවා බලපාන්න පුළුවන්. ඇෆ්ලටොක්සින් වලින් ශරීරයට හානි සිදුවෙන ආකාර දෙකක් තිබෙනවා ඉන් පළමු වැන්න කුඩා ප්‍රමාණයක් දීර්ඝ කාලයක් ශරීරගත වීම. දෙවැන්න විශාල ප්‍රමානයක් එකවර ශරීරගත වීම.” යනුවෙන් පවසා සිටියේය.

මේ අතර පිළිකා කාරක පොල්තෙල් සම්බන්ධයෙන් ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා  අදහස් පළ කරමින් පවසා සිටියේ,”අපි වෙළෙඳපොළෙන් පොල්තෙල් නෙමෙයි මිළදී ගන්නේ වස. පොල්තෙල් සහ මී තෙල් තමයි අපිට තිබුණු වටිනාම තෙල් වර්ග දෙක. බටහිර ජාතීන් පොල්තෙල් ශරීරයට අගුණයි කියලා විශාල ක්‍රියාදාමයක් දියත් කළා. නමුත් අපි පාසල් සිසුන්ව සිටි අවධියේදී හිටපු කීර්තිමත් හෘද රෝග වෛද්‍ය ඩී.පී. අතුකෝරාළ මහත්තයා ඔවුන්ගේ පොල්තෙල් අහිතකරයි කියූ ව්‍යාපාරයට එරෙහිව ලොකු සටහන් තනිවම කළා පොල්තෙල් හදවත් රෝගවලට ගුණයි කියා පෙන්වන්න. එතුමාගේ මතවාදය නිවැරදියි කියා අද ඔප්පු වී හමාරයි. අද වන විට පොල්තෙල් ඉතාම ගුණදායකයි කියා මුළු ලෝකෙම පිළිගන්නවා. නමුත් වෙළෙඳ පොළේ පොල්තෙල් කියා විකුණන තෙල්වලින් 80%ම පොල්තෙල් නෙමෙයි.” යනුවෙන් පවසා සිටියේය.

මේ අතර වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් වී ඇත්දැයි සෙවීම සඳහා දිවයින පුරා පොල්තෙල් අලෙවිකරන ස්ථාන 100කින් පමණ සාම්පල ලබාගෙන පරීක්ෂාවට යොමුකරන බවයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා මාධ්‍යයට අදහස් දවමින් ප්‍රකාශ කළේ, මතභේදයට තුඩුදුන් පොල්තෙල් ගබඩා ගුදම්වල මුද්‍රා කඩා ඇත්දැයි සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළ බවය.

 

Courtesy:LLN