
පෝර්ට් සිටි පනත් කෙටුම්පත ඇන්නුවේ පී.බී.ගේ ගජයින් තිදෙනා…?
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව විපක්ෂයෙන් මෙන්ම
ආණ්ඩු පක්ෂය තුලින් බරපතල විරෝධයක් එල්ලවීමට බලපා ඇති ප්‍රධානම කාරණය, අදාල පනත් කෙටුම්පත සංශෝධනය කිරීමේදී ජනාධිපති ලේකම් ආචාර්ය පී .බී . ජයසුන්දරගේ හිතවතුන් තිදෙනෙකු විසින් සිදුකර ඇති බලවත් දෝෂයන් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ මොහොතේ ‘කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය’ මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ වෙත පැවරී තිබුනද පසුව සිදුකළ සංශෝධනයේදී එම විෂය ජනාධිපතිවරයා වෙත පවරා ගෙන තිබිණ.
මුල් අවස්ථාවේදී මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂගේ උපදෙස්මත විශේෂඥ කමිටුවක් විසින් කෙටුම්පත් කර තිබී ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත, ජනාධිපති ලේකම්වරයාට බාරදීමෙන් පසු ඔහුගේ හිතවතුන් තිදෙනෙකු විසින් සංශෝධනය කර ජනාධිපතිගේ අත්සනින් ඉදිරිපත්කර ඇති අතර ඒ තුල පවතින නීතිමය ගැටළු නිසා මේවනවිට ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 20කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබේ.
පී .බී. ගේ ගජයින් ?
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, විශේෂඥ කමිටුවට විසින් ජනාධිපති ලේකම්වරයා වෙත බාර දී තිබු කෙටුම්පත සංශෝධනය කර ඇත්තේ, ඔහුගේ සමීපතම හිතවතුන් කිහිප දෙනෙකුවන ශාමලී ගුණවර්ධන, නිහාල් ජයවර්ධන හා කෙනත් ද සිල්වා යන තිදෙනා විසිනි.
මින් එක් අයකු ‘පෝට්සිටි’ ව්‍යාපෘතියට අදාල චීන සමාගමක උපදේශකයකු ලෙස මාසිකව දීමනාවක් ලබාගන්නා අයකු බවට චෝදනා එල්ලවී තිබෙන බව පැවසේ.
අමාත්‍ය අනුකමිටුවට පිටින් කළ වැඩක් !

මේ අතර ‘අරුණ’ පුවත්පත පවසන්නේ, කොළඹ වරාය නගර කොමිෂන් පනත කෙටුම්පත පනත් අධීක්ෂණය කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනුකමිටුවේ අධ්‍යයනයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වන බවයි.
කැබිනට් අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති නීතිඥ අලි සබ්රි, නීතිඥ උදය ගම්මන්පිල, නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා එම අමාත්‍ය අනුකමිටුවට ඇතුළත් වෙති.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් මෙම කමිටුවට යොමුකර අනුමැතිය ලබාගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතත් වරාය නගර කොමිෂන් පනත් කෙටුම්පත කමිටුවට ඉදිරිපත් කර නොමැත.
ඒ පිළිබඳව කළ විමසුමකදී අමාත්‍ය උදය ගම්මන්පිල ඒ බව සනාථ කළේය.
කෙසේ වෙතත් කොළඹ වරාය නගර කොමිෂන් පනත කෙටුම්පතට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් විස්සක් සිකුරාදා (16) පස්වරුව වනවිට ගොනුකර තිබුණි.
ඇතැම් පෙත්සම්වලින් ජනමත විචාරණයක් පැවැත්වීමටද නියෝග නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සම් අද (19) විභාගයට ගැනීමට නියමිත අතර අතරමැදි පෙත්සම්ද ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටියි.
කෙසේ වෙතත් කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවට අයත් කොටසක් ලෙසත්, කොළඹ මහ නගර සභාව යටතේ පාලනය වන ප්‍රදේශයක් බවටත් යහපාලන රජය සමයේ එවකට සිටි ස්වදේශ කටයුතු ඇමැතිවරයා වූ වජිර අබේවර්ධන විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබුණි.(Leader)
Leave a Reply