කොවිඩ් -19 අසාධිත වී රෝහල් ගත කර ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ප්‍රේමදාසගේ තත්ත්වය ඊයේ සවස වන විට අසීරු තත්ත්වයට පත්ව ඇයට ඔක්සිජන් දීම ආරම්භ කළ බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

ජලනි ප්‍රේමදාසට අයත් Jaal salon හි සේවකයන් කිහිප දෙනෙකුටම කොවිඩ් -19 ආසාධිත බව තහවුරු වූයේ පසුගිය 16 වෙනිදා ය. එවිට ප්‍රදේශයේ MOH කාර්යාලයට දැනුම් දීම සිදුකළ යුතුම අතර එවිට ආශ්‍රිතයන් සොයා ඔවුන් නිරෝධායනයට යොමු කිරීම ආදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සෞඛ්‍ය බලධාරීන් අනුගමනය කරන නමුත් ජනාධිපතිවරයාගේ ද අනුදැනුම මත ඒ බව වසන් කර තිබේ. ඊට හේතු වී ඇත්තේ ජලනිගේ Jaal salon වෙත සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන ප්‍රභූ කාන්තාවන් කලබලයට පත් වන නිසාවෙනි. සජිත් ජනාධිපතිවරයා අමතා මේ පිළිබඳව දැනුම් දී ඇත. විශේෂයෙන් ඊට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ දී චන්න ජයසුමන ජලනී උපන්දින සාදයක් පැවැත්වූ බවට පාර්ලිමේන්තුවේදී ඝෝෂා කළ බවත්, Jaal salon ආයතනය ගැන එවැනි ඝෝෂාවක් කිරීමට ඉඩ නොදෙන ලෙසත් සජිත් ජනාධිපතිගෙන් ඉල්ලා ඇත. ජනාධිපතිවරයා ඊට එකඟ වී තිබේ.

කෙසේ වෙතත් ජලනි 16 දා සිය සැලොන් එක වසා දැමූ නමුත් ඇය හෝ සජිත් හෝ ස්වයං නිරෝධායනයට යොමු නොවූහ. දැන් ඇයගේ තත්ත්වය අසීරු වී තිබේ.

මන්ත්‍රීලාටත් පීසීආර් නෑ…

මේ අතර විපක්ෂ නායක වරයා ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනෙකුටම මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාධිතව රෝහල් ගත කර තිබේ. ඔවුන් නම් නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මැයි 19 වෙනිදා ද, මුජිබර් රහුමාන් මැයි 20 වෙනිදා ද, සජිත් ප්‍රේමදාස මැයි 23 වෙනි දා ද කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන රෝහල් ගත කර සිටිති.

පාර්ලිමේන්තුවට කඩිමුඩියේ ගෙන ආ පෝට්සිටි පනත නිසා මෙම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විවිධ කටයුතු සඳහා සහභාගී වූ අය වෙති. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ ද, පිටත විපක්ෂ නායක නිල කාර්යාලයේ ද, තවත් ඔහුගේ පක්ෂ කාර්යාලයක ද රාජකාරි කර තිබේ.

මෙකී මන්ත්‍රීවරු තිදෙනා පාර්ලිමේන්තුවේ ඇසුරු කළ අය සොයා බලා හෝ පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරු සඳහා හෝ පීසීආර් පරීක්ෂණ සිදුකළම යුතු නමුත් ආණ්ඩුව මේ ලිපිය ලියන මොහොත දක්වා එය මග හැර තිබේ. ඒ අනුව සියළුම මන්ත්‍රීවරු සිටින්නේ විශාල චකිතයකිනි. මන්ත්‍රීවරුන්ටත් පීසීආර් නැතිනම් අනෙකුත් ජනතාව ගැන කවර කතාදැයි මන්ත්‍රීවරුම කියති.

ලංකා ඊ නිව්ස්