කොවිඩ් 19 රෝගය ආරම්භ වූයේ කෙසේදැයි සොයාගැනීම සඳහා නැවත විමර්ශන බල ගන්වන ලෙස එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් සිය බුද්ධි අංශ නිලධාරීන්ට නියෝග කර තිබේ. මෙම වෛරසය චීනයේ රසායනාගාරයකින් පිට වූයේද යන්න සොයා බැලීම ද මෙම විමර්ශනයට ඇතුළත් ය.

මෙම වෛරසය මුලින්ම මිනිසෙකුට ආසාදනය වූ ආකාරය පිළිබඳව තම බුද්ධි අංශ ප්‍රජාව මත දෙකකට බෙදී සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

ඉන් එක් මතයක් වන්නේ මෙම කොරෝනාවෛරසය රසායනාගාරයකින් පිටවී ඇති බවය. ආසාදිත සතෙකුගෙන් මිනිසෙකුට බෝවී ඇතැයි යන්න අනෙක් මතයයි.

දින 90ක් ඇතුළත නැවත තමන් වෙත වාර්තා කරන ලෙස මේ පිළිබඳව විමර්ශනය කළ බුද්ධි අංශ කණ්ඩායමට ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.

රසායනාගාරයකින් වෛරසය පිටවී ඇති බවට පවතින න්‍යාය චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

“හිතාමතා මඩ තැවරීමේ සහ වරද පැටවීමේ ව්‍යාපාරය” පෙරළා පැමිණ ඇති බවත් ‘රසායනාගාරයකින් පිටවීමක්’ යන න්‍යාය “නැවතත් මතුකරමින්” සිටින බවත්, එක්සත් ජනපදයේ පිහිටි චීන තානාපති කාර්යාලය බ්‍රහස්පතින්දා (මැයි 27) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

2019 අග භාගයේදී චීනයේ වූහාන් නගරයෙන් මුලින්ම මෙම වෛරසය වාර්තා වූ දා පටන් මේ දක්වා ලොව පුරා මිනිසුන් මිලියන 168කට අධික සංඛ්‍යාවකට ආසාදනය වී ඇති අතර අවමව ශයෙන් මිලියන 3.5ක් මරණයට පත් වී තිබේ.

වූහාන් හි පිහිටි මාළු වෙළෙඳපොළකට, මුලින්ම වාර්තා වූ ආසාදිතයන් සම්බන්ධ බවට බලධාරීන් පැවසීමත් සමඟ මෙම වෛරසය සතුන්ගෙන් මිනිසාට එන්නට ඇතැයි යන න්‍යාය විද්‍යාඥයෝ පළ කළහ.

නමුත් මෙම වෛරසය චීනයේ විද්‍යාගාරයකින් බාහිර ලෝකයට පිටවී ඇති බවට යෝජනා කළ හැකි සාක්ෂි මෑතකදී පළවූ එක්සත් ජනපද වාර්තාවල පළවිය. ඇතැම් විට විද්‍යාගාරයක සිදු වූ හදිසි අනතුරකින් මෙය සිදුවන්නට ඇතැයි ඉන් යෝජනාවී තිබිණි.

බයිඩන් මෙහෙම දෙයක් කරන්නේ ඇයි?

බදාදා (මැයි 26) නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ තමන් ජනාධිපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව කොරෝනාවෛරසයේ ආරම්භය පිළිබඳව විමසීමක් කළ බවය.

“එය අසාදිත සතෙකු ස්පර්ශ කිරීමෙන් මිනිසාට පැමිණියේ ද? නැතහොත් විද්‍යාගාරයක සිදුවූ හදිසි අනතුරකින් එය පිට වූයේද? යන ප්‍රශ්නයද ඊට ඇතුළත් විය.”

ඊට පිළිතුරු මේ මාසයේ දී ලැබුණු විට ඒ පිළිබඳව තවදුරටත් සොයා බලන ලෙස ඔහු ඉල්ලීමක් කර තිබේ.

තම බුද්ධි අංශ ප්‍රජාවේ බහුතරය ඉහත කී න්‍යායන් දෙක මත පිහිටා සිටින බව ජනපති බයිඩන් පැවසීය.

“නමුත් නිශ්චිතවම ඉන් එක් න්‍යායක් සනාථ කිරීම සඳහා විද්‍යාත්මක සාක්ෂි නැහැ.”

“නිශ්චිත නිගමනයකට ආසන්න වීම සඳහා අවශ්‍ය කරන තොරතුරු රැස් කර ගැනීමට සහ ඒවා විශ්ලේෂණය කිරීමට” විමර්ශන නැවත බලගන්වන ලෙස ජනාධිපතිවරයා තම නියෝජිත ආයතනවලින් ඉල්ලීමක් කළේය.

“පූර්ණ විනිවිදභාවයක් සහිත සහ සාක්ෂි මත පදනම් වූ ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා චීනයේ සහභාගිත්වය ලබා ගැනීමට තවත් රටවලින් පෙළඹවීමක්” කරවීමට එක්සත් ජනපදය ක්‍රියා කරනු ඇතැයි ද ජනාධිපති බයිඩන් පැවසීය.

කෙසේ වෙතත් චීනය මීට පෙර යෝජනා කර තිබුණේ, චීනයෙන් නොව, එක්සත් ජනපදයේ විද්‍යාගාරයකින් කොවිඩ් 19 පිට වන්නට ඇති බවය.

චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ “ලොව වටා තිබෙන ඇතැම් රහසිගත විද්‍යාගාර” පිළිබඳව පුර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා තම රට සහයෝගය දුන් බවකි.

එක්සත් ජනපදයේ බුද්ධි අංශ ප්‍රජාවේ “කළු ඉතිහාසයක්” ගැන සඳහන් කරමින් චීන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බයිඩන් පරිපාලනයේ “අවශ්‍යතාව සහ හේතුව” පැහැදිලි බවය.

වෛරසයේ ආරම්භය පිළිබඳව ජනාධිපති බයිඩන් නැවත නිවේදනය කළේ CNN පුවත් සේවය විකාශනය කළ වාර්තා වැඩසටහනකින් පසුවය. ඉන් වාර්තා කර තිබුණේ, වෛරසය පිටවූයේ වූහාන් විද්‍යාගාරයකින් ද යන්න පිළිබඳව සොයා බැලුණු රාජ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයක් බයිඩන් පරිපාලනය විසින් අත්හිටුවනු ලැබ ඇති බවය.

විද්‍යාගාර න්‍යාය ගැන අප දන්නේ මොනවාද?

Wuhan Institute of Virology නමැති විද්‍යාගාරය වෛරස පිළිබඳව පර්යේෂණ පවත්වන චීනයේ පවතින ඉහළම මට්ටමේ විද්‍යාගාරවලින් එකකි. මෙම විද්‍යාගාරය පිළිබඳව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිතර කතා කරන්නට විය.

මෙම විද්‍යාගාරයේ ජෛව ආරක්ෂාව පිළිබඳව බලධාරීන් කනස්සල්ල පළකර ඇති බවට 2020 අප්‍රේල් මාසයේදී එක්සත් ජනපද රාජ්‍ය අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීන විද්‍යාඥයන් එක්ව ලියා නිකුත් කරන ලද නිවේදනයක දැක්වුණේ කොරෝනාවෛරසය චීනයේ විද්‍යාගාරයකින් පිටවීමට ඇති ඉඩකඩ අතිශයින් අවම බවය. එය නිවේදනය කර තිබුණේ මේ වසර මුලදී ය.

එහි සඳහන් වූයේ බොහෝ විට මෙම වෛරසය වවුලන්ගෙන් වෙනත් සතෙකුට බෝවී එම අතරමැදි සත්ත්වයා හරහා මිනිසාට පැමිණෙන්නට ඇති බවය. නමුත් එය තහවුරු කිරීම සඳහා තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු බවද එහි සඳහන් විය.

කෙසේ නමුත් මේ පිළිබඳව පවතින සැකය එසේම පැවතුණි. මෑතකදී පළවූ වර්තාවල සඳහන් වූයේ Wuhan Institute of Virology නමැති විද්‍යාගාරයේ සේවය කරමින් සිටි තිදෙනෙකු 2019 නොවැම්බරයේ දී රෝගාතුර වී රෝහලකට ඇතුළත් කළ බව එක්සත් ජනපද බුද්ධි තොරතුරු සඳහන් කළ බවය. මෙය සිදු වී ඇත්තේ වූහාන් තුළ පළමු ආසාදිතයා වර්තාවන්නට සති කීපයකට පෙර ය.

ජනාධිපති බයිඩන්ගේ ප්‍රධාන වෛද්‍ය විද්‍යා උපදේශක ඇන්තනි ෆෞචි දිගින් දිගටම විශ්වාසය පළ කළේ මෙම වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝවූ බවය. නමුත් කොවිඩ් 19 ස්වභාවිකව වර්ධනය වුවක් බව මින් ඉදිරියට තමන් පිලි නොගන්නා බව මේ මාසයේ දී ඔහු පැවසීය.

ජනාධිපති ජෝ බයිඩන්ගේ නිවේදනය නිකුත් වූයේ එක්සත් ජනපදයේ සෞඛ්‍ය මානව සේවා අමත්‍ය සේවියර් බෙසේරා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කරනු ලැබූ ඉල්ලීමකින් පසුවය. ඔහු ඉල්ලා සිටියේ මෙම වෛරසයේ මූලාරම්භය පිළිබඳව විනිවිදභාවය සහිත පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසය.

“මුල ඉඳලම මම මේක කිව්වා”

“කොවිඩ් ආරම්භය පිළිබඳ පර්යේෂණයේ දෙවන පියවර ආරම්භ විය යුතුයි. එය විනිවිද භාවය සහිත විද්‍යාත්මක පදනමක් ඇති පර්යේෂණයක් විය යුතුයි. වෛරසය සහ එහි ව්‍යාප්තියේ ආරම්භය ගැන ස්වාධීනව සොයා බැලීමට ජාත්‍යන්තර විශේෂඥයන්ට පූර්ණ අවසරය ලබා දිය යුතුයි.” ඔහු පැවසීය.

පසුගිය අඟහරුවාදා (මැයි 25) නිව්යෝර්ක් පුවත් පතට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳව ප්‍රකාශයක් කර තිබුණි.

“මුල ඉඳලම මම මේක කිව්වා. ඒත් සුපුරුදු පරිදි මාව දැඩි විවේචනයට භාජනය වුණා. දැන් ඔවුන් හැමෝම කියනවා, ‘ඔහු හරි’ කියල.” ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි. BBC